Tuesday, October 22, 2024
Follow Us
දුම්රිය ධාවනය අද යථා තත්ත්වයට - හමුදාව පුහුණු කිරීමේ කටයුතුත් ඉදිරියට

පෙරවරු කාලයේ ධාවනය කෙරෙන කාර්යාලීය දුම්රිය සියයට 90 ක් පමණ අද (08) දිනයේ ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු ඩිලන්ත ප‍්‍රනාන්දු පවසනවා.

වර්ජනය හේතුවෙන් කොළඹින් බැහැර ගමනාන්තවල නවතා තිබූ දුම්රිය ධාවනය කරවීම සඳහා දුම්රිය රියදුරන් ඊයේ (07) රාති‍්‍රයේම පිටත් කර යැවූ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

අද පස්වරුව වනවිට දුම්රිය සේවය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ද දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියා.

ලංකා දුම්රිය නියාමක සංගමයේ ප‍්‍රධාන ලේකම් පී. එම්. පී. පීරිස්ගෙන් ද නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කරුණු විමසුවා.

එහිදී ඔහු කියා සිටියේ සියලුම කාර්යාලීය දුම්රිය ධාවනය කරවීමට සැළසුම් කර ඇති බවයි. කෙසේවෙතත් දින ගණනක් නවතා තැබීම හේතුවෙන් ඇතැම් දුම්රිය පණ ගන්වා ගැනීම අපහසු විය හැකි බවද සඳහන් කෙරුණා.

මේ අතර දුම්රිය වැඩවර්ජනය අවසන් වුව ද යුද හමුදා සාමාජිකයන්ට දුම්රිය ධාවනය කරවීම සඳහා පුහුණුවීමක් ලබා දීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ නෙත් නිවුස් වෙත සදහන් කළේ.

ඊට අවශ්‍ය ලියකියවිලි මේ වන විට හුවමාරු කරගෙන ඇති බවත් කොටස් තුනක් යටතේ රියදුරන් 10 දෙනෙක්, නියාමකවරුන් 10 දෙනෙක් සහ ස්ථානාධිපතිවරුන් 10ක් ආදී වශයෙන් මෙම පුහුණු කිරීම් සිදුවෙනු ඇති බවද සඳහන් කළා. ඒ අනුව ඉදිරි මාස කිහිපයක් ඇතුළත පුහුණු දුම්රිය රියදුරන් හමුදාවෙන් බිහිවෙනු ඇති බවද සඳහන් කළා.

(Neth)