Tuesday, October 22, 2024
Follow Us
දුම්රිය වර්ජනයේ අවසන් තීන්දුව අද සවස ?

දින 12ක් පුරා ක්‍රියාත්මක දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (07) සවස වන විට ප්‍රකාශ කිරීමට හැකිවනු ඇති බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. එම වර්ජනයට එක්වී සිටින දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කලේ තමන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් මේ වන විට ප්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන් සමග සාකච්ජාවකට එක්ව සිටින බවයි.

දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර අද (07) උදෑසන සාකච්ජාවක් පැවති බවත් ඉන් පසුව ජාතික වැටුප් කොමිසමේ නිලධාරින් සමග ද සාකච්ජාවක් පැවැත්වූ බවයි ඉන්දික දොඩංගොඩ වැඩිදුරටත් සඳහන් කලේ.

ප්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන් සමග අද සවස පැවැත්වෙන සාකච්ජාවෙන් පසුව දුම්රිය වර්ජනය අවසන් කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවට එළඹීමට හැකිවනු ඇති බවයි දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේ.

මේ අතර පොදු මහජනතාව අපහසුතාවයට පත්නොවන අයුරින් තම වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම සියලුම වෘත්තිකයන්ගේ වගකීම බවත් ඒ හේතුවෙන් වැඩ වර්ජනය අවසන් කරන ලෙස ජනාධිපතිවරයා දුම්රිය වෘත්තීය සමිති සමග අද පැවති සාකච්ජාවේදී දැනුම් දී තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වැඩ වර්ජනය අවසන් කිරීමෙන් පසුව ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව සලකා බලමින් ඒවාට ලබාදිය හැකි විසඳුම් ලබාදීමට තමන් මැදිහත්වන බවත් ඕනෑම ගැටලුවක් සාකච්ජා මගින් විසඳා ගත හැකි බැවින් කිසිදු විටක මහජනතාව පිඩාවට පත් නොකළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

(Neth)