Friday, February 20, 2026
Follow Us
සිසුන්ට විෂ දුම් පෙව් සිවුදෙනාගේ තීන්දුව

නොසැලකිල්ල ගිය දුරක්


විෂ වායුවක් පානදුර රාජකීය ප්‍රාථමික විදුහලේ සිසුන් 40 කට අධික පිරිසකට ආග්‍රහනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පානදුර දකුණ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කල පුද්ගලයින් සිව්දෙනාගෙන් තිදෙනකු ලබන 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක ඊයේ (03) නියම කලේය.

පානදුර , නල්ලුරුව ප්‍රදේශයේ පදිංචි ලිඳමොලගේ ඉන්දික සිල්වා, චමිල කුමාර පීරිස් සහ තුසෙව් වඩුගේ සුරංග සමන්සිරි යන තිදෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි

ඉකුත් 2 දා පානදුර රාජකීය ප්‍රාථමික විදුහල පිටුපස නිවසක් ඉදිරිපිට කසළ ගොඩක දමා වයර් තොගයක් පිලිස්සීමෙන් සිසුන් 40 කට වැඩි පිරිසකට විෂ වායුවක් ආග්‍රහණය වී රෝහල් ගතකල බවත්, මේ වනවිටත් අට දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් සැරයන් එච්.ඒ.යූ.ආනන්ද අධිකරණය හමුවේ කියා සිටියේය.

දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති හයක් යටතේ මිනී මැරීමට තැත්කිරීම, තුවාල සිදුකිරීම , නොසැලකිලිමත් ක්‍රියාවකින් මහජන සෞඛ්‍යට හා ආරක්ෂාවට හානි සිදුකිරීම සහ රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය යන චෝදනා සැකකරුවන්ට එරෙහිව නගා ඇති බව අධිකරණයේදී කරුණු අණාවරණය විය.

1, 2 සහ 3 වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ම:දො: විජයපාල සදහන් කලේ සිය සේවාදායකයන් තිදෙනා දුප්පත් අහිංසක මිනිසුන් බවත්, කම්බි අලෙවිකිරීම ඔවුන් කාලයක් මුළුල්ලේ රැකියාව ලෙසින් සිදුකරන බවත් කිසිවෙකුටත් හිරිහැරයක් හෝ මරණීය චේතනාවෙන් සිදුකල ක්‍රියාවක් නොවන බැවින් ඇප ලබාදෙන ලෙසයි.

පෙර සැකකරුවන් විසින් රැගෙන ආ තඹ කම්බි කිලෝ එකයි ග්‍රැම් 300 ක් රුපියල් 1350 ක මුදලකට මිලදීගත් තම සේවාදායකයා වන 4 වන සැකකරු මෙම සිද්ධියට සම්බන්ධයක් නොමැති බැවින් ඇප ලබාදෙන ලෙස නීතිඥ දිලූක එම් සිල්වා මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉල්ලා සිටියේය.

ඒ අනුව 4 වන සැකකරු වන පානදුර ජයතිලක මාවතේ පදිංචි ජයසිංහගේ බුද්ධික අශෝක කුමාර යන අය රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් නියම කලේය.

1, 2 සහ 3 වන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ම:දො: විජයපාල මහතා ද, 4 වන සැකකරු වෙනුවෙන් නීතිඥ දිලූක එම් සිල්වා මහතා පෙනීසිටි අතර , සැරයන් එච්.ඒ.යූ.ආනන්ද (13660) සහ කොස්තාපල් පී.ඩී. ලක්මාල් (79726) පොලිසිය වෙනුවෙන් අධ්කරණයට කරුණු වාර්තා කලහ.

නඩුව ලබන නොවැම්බර් 14 දා යළි කැඳවීමට නියමිතයි.

Aruna