Friday, February 20, 2026
Follow Us
රාජපක්ෂ පිළිරුව සවි කරයි

නාමල් ඉදිරියේ රාජපක්ෂ පිළිරුව යලි ඉහළට


මැයි මාසයේදී කඩා බිඳ දැමූ තංගල්ලේ පිහිටි ඩී.ඒ.රාජපක්ෂ පිළිරුව නැවත එම ස්ථා‍නයේම සවි කිරීම (3) සිදුකෙරිණි.

තංගල්ල මහවෙල මාර්ගයේ ඉදිකර තිබූ මෙම පිළිරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, සහ ගෝඨාභය රාජපක්ෂගේ පියාණන් වන ඩී.ඒ රාජපක්ෂ මහතාගේ පිළිරුවකි. එම පිළිරුව ඉකුත් මැයි මාසයේ 10 වැනිදා පිරිසක් විසින් කඩා බිඳ දමනු ලැබූහ.

එම පිළිරුව තංගල්ල කාර්ල්ටන් නිවෙස පිහිටි භූමියේ නැවත ඉදිකර පෙර පැවැති ස්ථානයටම රැගෙන ගොස් යළිත් සවිකිරීම සිදුකෙරිණි. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ තංගල්ල නගරසභාවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්වූහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මෙම පිළිරුව එළැඹෙන 6 වැනිදා විවෘත කිරීමට නියමිතය. සෑම වසරකම නොවැම්බර් මස 6 වැනිදා ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ ජාතික ගුණ සමරු උත්සවය සිදුකරනු ලැබුවේ මෙම පිළිරුව අසල වන අතර මෙවරද එය එම ස්ථානයේදීම පැවැත්වීමට නියමිතය.

තංගල්ල නගරයේ ව්‍යාපාරිකයන් පිරිසක් විසින් 1997 වසරේදී සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව තංගල්ල මහවෙල පාරේ පෞද්ගලික ඉඩමක ඉදිකර තිබිණි.

ඩී.ඒ.රාජපක්ෂ ගුණ සමරු කමිටුවේ මැදිහත්වීමෙන් තංගල්ල නගරවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙවර එය ඉදිකිරීම් සිදුකළ බව ඩී.ඒ.රාජපක්ෂ ගුණ සමරු කමිටුව කියයි.

Aruna