කොළඹ කොටුව සිට ගුවන් තොටුපළ දක්වා ධාවනය වන බස්රථ සම්බන්ධයෙන් මේවනවිට ගැටලුවක් මතුව තිබෙනවා. ඒ, එම බස්රථ මීට දින කිහිපයකට පමණ පෙර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රධාන පිවිසුම තිබෙන ස්ථානයට පමණක් ධාවනය සීමා කිරීම හේතුවෙන්.
මීට පෙර එම බස්රථ ගුවන්තොටුපළේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුල්වී පිටවීමේ සහ ඇතුල්වීමේ පර්යන්ත අසලින් ගමන් කර යළි ප්‍රධාන මාර්ගයට පිවිසීම සිදුවනවා. මෙමගින් විදෙස්ගත වීම සදහා ගුවන්තොටුපළට පැමිණෙන ජනතාවට මෙන්ම විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ජනතාවට බස්රථ මගින් පහසුවෙන් සිය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට හැකිවුණා.
එහෙත් මෙලෙස බස්රථ ප්‍රධාන පිවිසුම දක්වා සීමා කිරීම හරහා ගුවන්තොටුපළ භාවිත කරන ජනතාව දැඩි අපහසුතාවයකට පත්වන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඒ, සිය ගමන්මළු රැගෙන ප්‍රධාන මාර්ගයට පාගමනින් පැමිණීමට සිදුවීමයි.
එම දුර ප්‍රමාණය කුලී රථයකින් ගමන් කිරීමට හැකි වුවත් මේවනවිට පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් ගුවන් තොටුපළ භාවිත කරන ජනතාව වැඩි වශයෙන් බස්රථ මගින් ගුවන්තොටුපළට පැමිණීම සහ ගුවන්තොටුපළෙන් පිටව යාම සිදු කළා.
එහෙත් එකවර මෙම බස් ධාවනය ප්‍රධාන පිවිසුම දක්වා සීමා කිරීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහි සභාපති ප්‍රසන්න සංජීව සදහන් කළේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාගේ උපදෙස් මත තමන් මෙම තීරණයට එළඹි බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි සම්බන්ධ කරගැනීමට නෙත් නිවුස් අවස්ථා ගණනාවකදී උත්සාහ කළා. එහෙත් එම උත්සාහයන් සාර්ථක වූයේ නැහැ.
Neth