Wednesday, May 15, 2024
Follow Us
දුම්රිය සංගම් වර්ජනය තවදුරටත් - ගුරු වෘත්තීය සමිතිත් දින 05හේ වැඩවර්ජනය ගැන අනතුරු අඟවයි

ක්ෂේත‍්‍ර කිහිපයක රාජ්‍ය සේවකයින් පෙන්වා දෙන වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට අද (01) කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරන බවට වෘත්තීය සමිති වෙත පොරොන්දුවක් ලැබී තිබෙනවා.

ශී‍්‍ර ලංකා දුම්රිය නියාමකයින්ගේ සංගමය පැවසුවේ වැටුප් විෂමතා පිළිබඳ විමසා බලන අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සමග ඊයේ (30) පැවති සාකච්ඡාවේදී මෙම පොරොන්දුව ලැබුණු බවයි.

එහෙත් සිය වැඩවර්ජනය අද (01) දිනයේද සිදු කරන බවද ඔවුන් පැවසුවා. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ශී‍්‍ර ලංකා දුම්රිය නියාමකයින්ගේ සංගමයේ ලේකම් පී. එම්. පී. පීරිස් කියා සිටියේ අද දිනයේ අමාත්‍ය මණ්ඩලයේදී තීන්දුව ලැබෙන තුරු දුම්රිය වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බවයි.

වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට අද කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරන බවට ගුරු වෘත්තීය සමිති වෙතද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පොරොන්දු වී තිබෙනවා. එහෙත් මෙම පොරොන්දුවෙන් සෑහීමකට පත් විය නොහැකි බවයි ගුරු වෘත්තීය සමිතිද පැවසුවේ. ඒ අනුව යෝජිත දින පහක වැඩ වර්ජනය ලබන සදුදා සිට ආරම්භ කරන බව ඔවුන් පැවසුවා. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ ආණ්ඩුව පැත්තෙන් සිය ඉල්ලීම් පිළිබඳ වඩා හොඳම තහවුරුවක් ලැබෙන තෙක් සිය වෘත්තීය අරගලය ඉදිරියට ගෙන යන බවයි.

වැටුප් විෂමතා පෙන්වා දෙමින් ඊට විසදුම් ඉල්ලා සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඊයේ පැවැත්වුණු සාකච්ඡා සඳහා ආරාධනා කර තිබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් අප‍්‍රසාදය පල කරන බවද තමන්ට සාධාරණයක් ඉටු නොවුන හොත් ඉදිරියේදී තමන්ද වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඔවුන් පැවසුවා.

(Neth)