Wednesday, May 15, 2024
Follow Us
කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙනා ටිපර් රථ 28ක මග නවතයි - ප්‍රදේශවාසීන් විරෝධතාවක

අරුවක්කාලු කසල අංගනය වෙත කසල රැගෙන පැමිණි ටිපර් රථ 28 කට අංගනයට ඇතුළු වීමට ඉඩ නොදී පිරිසක් විරෝධතාවයක නිරත වෙමින් සිටින බව nethnews.lk වාර්තාකරු පවසනවා.

අද (01) අලුයම් කාලයේ සිට මෙම විරෝධතාවය පැවැත්වෙන බවයි වාර්තා කළේ.

අරුවක්කාලු කසල අංගනය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වෙන බව වනාතවිල්ලුව පොලිසිය සඳහන් කළා.

අරුවක්කාලු කසල අංගනය හේතුවෙන් තමන්ගේ ජන ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව සේරක්කුලිය ධීවර ගම්මානයේ පදිංචිකරුවන් පසුගිය 29 වැනිදා වනාතවිල්ලුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඊයේ (30) දහවල් වනාතවිල්ලුව නගරයේදී විරෝධතාවයක්ද පැවති අතර, පසුව ඔවුන් විසින් සකස් කරන ලද සංදේශයක්ද වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාර දීම සිදු කරන ලදි.

අද අලුයම් කාලයේ කසල රැගෙන පැමිණි ටිපර් රථවල මග හරස් කර ඇති ගම්වාසීන් එම රථවලට අංගනයට ඇතුළු වීමට ඉඩ නොදී විරෝධතාව ආරම්භ කර තිබෙනවා.

මෙම විරෝධතාවයට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත මුණසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.

මේ අතර කොළඹ එකතු වන කසල අරුවක්කාලු කසල අංගනයට බැහැර කිරීම සඳහා ඉදිරි මාස 06 ක කාලයක් සඳහා රුපියල් කෝටි 72 ක මුදලක් කොළඹ නගර සභාව විසින් වෙන් කිරීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

(Neth)