Thursday, February 19, 2026
Follow Us
අටමස්ථානාධිපති නායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද සිදු කෙරේ

අපවත් වී වදාළ අනුරාධපුර, අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද සිදු කෙරෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර පැවසුවේ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයේ කටයුතු පස්වරු 2යි 30ට පමණ දේහය තැන්පත් කර ඇති බෝධිමළුව විහාරස්ථානයේ සන්නිපාත ශාලාවේදී ආරම්භ කරන බවයි.

මේ අතර අපවත් වී වදාළ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන් තත්කාලීන, සමාජ අවකාශයන් හා නූතන ප්‍රවණතාවයන්ට සවිඥානික වෙමින් පෞරාණිකත්වය ආරක්ෂා කරගැනීමට අවධානය යොමු කළ නායක ස්වාමීන්වහන්සේ නමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ පුරා 25ස් වසරක් ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසහාය පූජා භූමිය ආරක්ෂා කරගත් ගෞරව බහුමානය උන්වහන්සේට හිමිවන බවයි. සිය රාජ්‍ය තාන්ත්‍රික දේශාපලන කටයුතු සදහා ලෙන්ගතුව අවවාද අනුශාසනා මෙන්ම නායක හිමියන් කළ මග පෙන්වීම් කෘතවේදීව සිහිපත් කරන බව එම නිවේදනයේ සදහන්.

අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ට උන්වහන්සේ ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්ප්‍රාප්තිය ප්‍රාර්ථනා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසනවා.

මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද අපවත් වී වදාළ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන් වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවාසී හා විදේශීය බෞද්ධ ජනතාවටද අන්‍යාගමික ජනතාවටද උතුම් හා පූජනීය වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කරගනිමින් වන්දනා කරගන්නා ජනතාවටද මුළු මහත් ජාතියටද මහනාහිමියන්ගේ ශාසනික සේවාව මහත් අභිමානයක් උදා කළ බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ශෝක පණිවිඩයේ දැක්වුණේ.

Neth