Thursday, February 19, 2026
Follow Us
ක්‍රීඩකයන්ගේ ආබාධවලට හේතුව සීතලම නොවේ

චමීරගේ පාදයට ඔස්ට්‍රේලියාවේදීම සැත්කමක්


ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ගොදුරුවීමට හේතුව ජිලෝන්ග්හි පවතින සීත දේශගුණය පමණක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවැසීය.

ලෝක කුසලාන සුපිරි කණ්ඩායම් 12 වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් වූ තරග තුනම පැවැති ජිලෝන්ග්හි කර්දිනා පාර්ක් ක්‍රීඩාංගණයේ තණනිල්ලේ කිඳා බසින (එබෙන) ස්වභාවයද ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීමට හේතුවිනැයි ඊයේ (20) පැවැති තරගය අවසානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවැසීය.

මේ දිනවල ජිලෝන්ග්හි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 ක් පමණ වන අතර රාත්‍රී කාලයේදී එය සෙල්සියස් අංශක 6 දක්වා පහළ බසින අවස්ථාද වේ. එසේම තීක්ෂණ පැවැසූ ආකාරයට කාර්දිනා පාර්ක් ක්‍රීඩාංගණයේ ඒ අයුරින් කිඳා බසින ස්වභාවයක්ද පවතින අතර ඉහළින් පැමිණ පතිත වන පන්දුව පෙරට ඇදී යෑමකින් තොරව එක තැන කිඳා බසින ස්වරූපයක්ද වේ.

මේ වනවිට ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩකයන් සිව් දෙනකු ආබාධවලට ගොදුරුව සිටිති. දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මධුෂාන්, ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිශ්ශංක එම ක්‍රීඩකයෝ වෙති. නමුත් මේ අතරින් තරගාවලියෙන් ඉවත් වන බවට මේ වනවිට නිශ්චිතව පැවැසිය හැක්කේ දුෂ්මන්ත චමීර පමණක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලන්ගොඩ පැවැසීය.

පැතුම් නිශ්ශංක පාදයේ සුළු ආබාධයකට ගොදුරුව ඇති බවත්, ඔහුට දින දෙක තුනක විවේකයකින් පසු නැවත ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති බවටත් විශ්වාසය පළ කළ කළමනාකරු, ධනුෂ්ක ගුණතිලකගේ තත්ත්වය ගැන තවදුරටත් අවධානයෙන් සිටින අතර ඔහුව තරගාවලියෙන් ඉවත් කර ශ්‍රී ලංකාවට යැවීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැති බවද අවධාරණය කළේය. එසේම ප්‍රමෝද් මධුෂාන්ද යම් නිශ්චිත විවේකයකින් අනතුරුව කණ්ඩායමට එක්වනු ඇති බවත් පවසා සිටියේය.

මේ අතර දුෂ්මන්ත චමීර තරගාවලියෙන් ඉවත් වුණද ඔහු පෙරළා ලංකාවට නොයවන බව කී කළමනාකාරවරයා ආබාධයට ගොදුරු වී ඇති ඔහුගේ පාදයේ සැත්කම ඔස්ට්‍රේලියාවේදීම සිදුකිරීමට කටයුතු සූදානම් වෙමින් පවතින බවත් ප්‍රකාශ කළේය. දුෂ්මන්ත වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කළ කසුන් රාජිත ඊයේ ඔස්ට්‍රේලියාවට ළඟා විය.

Aruna