Thursday, February 19, 2026
Follow Us
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් අපවත් වෙයි

අනුරාධපුර, අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, සද්ධම්ම ජෝතික ධජ, ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක හිමියන් අපවත් වී තිබෙනවා. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අපවත් වන විට උන්වහන්සේ 69වන වියෙහි පසුවුණා.

මාතලේ දඹුල්ල , පල්ලේගම ග්‍රාමයේ දී 1953 ජනවාරි 02 දින උපත ලද ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන් 1968 වර්ෂයේදී පැවිදි දිවියට ඇතුළත්ව අනතුරුව 1975 වර්ෂයේදී මහනුවර මංගල උපෝසථාරාමයෙදී උපසම්පදා සීලයෙහි පිහිටුවනු ලැබුවා.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම ඥානරතන නායක හිමියන්ගේ අපවත් වීමෙන් පසුව පුරප්පාඩු වූ අටමස්ථානාධිපති ධූරයට ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන් පත්වුණේ 1997 වර්ෂයේ ජුනි මස 05 වනදායි.

මේ දක්වා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථාන විහාරස්ථානයන්හි සංවර්ධන කටයුතු සිදු කරමින් ආගමික සේවාවන් සිදු කල නායක හිමියන් ඊයේ රාත්‍රියේ අපවත් වුණේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්.

Neth