Thursday, February 19, 2026
Follow Us
පාසල් සිසුන්ගේ කලිසම් ගලවන් යන මැර කල්ලියක්

සිසු සිසුවියන් බරපතළ ගැටලුවක


පාසල් සිසුන් බියගන්වා ඔවුන්ගේ මුදල් හා වටිනා දේපොළ කොල්ල කන ගැටවර මැර කල්ලි කිහිපයක් මහනුවර නගරයේ ක්‍රියාත්මක වෙමින් තිබේ.

පොලිස් හා ආරක්ෂක අංශ නිලධාරීන් බව කියමින් පාසල් සිසුන්ගේ මුදල් පසුම්බි සහ පොත් බෑග් පරික්ෂා කර ඒවාහි ඇති මුදල් හා ජංගම දුරකථන වැනි දේ බලහත්කාරයෙන් ලබාගන්නා මෙම කණ්ඩායම් සම්බන්ධව පොලිසියටද පැමිණිලි ඉදිරිපත්ව ඇත.

පොලිසියට දැනුම් දුන්නහොත් බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට මුදල් පැහැර ගැනීම සිදුකරන පුද්ගලයන් සිසුන්ට තර්ජනය කර තිබෙන අවස්ථාද වාර්තා වී තිබෙන අතර ඔවුන්ට ඇති බිය හේතුවෙන් මෙම සිද්ධීන්ට මුහුණ පෑ සිසුන් බහුතරයක් මේ පිළිබඳව පැමිණිලි නොකරන බවද සඳහන්ය.

විශේෂයෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන සිසු සිසුවියන්ගේ මෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන මෑතකදී පාසල් හැරගිය දරුවන් මෙම කොල්ලකරුවන්ගේ ඉලක්ක බවට පත්ව ඇති අතර සිසුන් ඇඳ පැලඳ සිටින කලිසම්, පාවහන්, අත්ඔරලෝසු පවා පැහැරගැනීම් පිළිබඳවද පසුගිය සමයේ අනාවරණය විය.

මීට අමතරව මහනුවර වැව රවුම, මාතලේ දුම්රිය මාර්ගය හා උඩවත්ත කැලේ ප්‍රදේශවලදී සිසුන් හා තරුණ පෙම්වතුන් බියගන්වා ඔවුන් සතු මුදල් කොල්ලකෑමේ සිදුවීම් මේවන විට ඉහළ ගොස් තිබේ.

එමෙන්ම හදිසි ඇමැතුමක් ලබාගැනීම සඳහා කාන්තාවන්ගෙන් ජංගම දුරකථන ඉල්ලාගෙන එය නොදී පලායන කණ්ඩායමක්ද මේ වන විට මහනුවර නගරයේ සැරිසරයි.

මෙලෙස රැගෙන යන ජංගම දුරකථන කෑලිවලට විකිණීම හේතුවෙන් ඒවා යළි සොයා ගැනීම අපහසු වී තිබෙන බව ​පොලිසිය කියා සිටී.

 

Aruna