ඉදිරියේ වර්ෂාවේ යම් වැඩිවීමක්
ඉදිරියේදී වර්ෂාවේ යම් වැඩිවීමක් සිදුවිය හැකි බැවින් අත්තනගලු ඔය, කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංඟා ආශ්‍රිත පහත් බිම්වල පදිංචි ජනතාව මේ සතිය අවසන්වනතුරුත් දැඩි අවධානයෙන් සිටියයුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී. සුගීෂ්වර පැවසීය.
ගංගා ජල මට්ටම් ඊයේ (17 වැනිදා) වන විට පහළ ගියද, ජල ගලනය ඉහළ මට්ටමක පවතින බවද, පසුගිය දිනවල ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග ගංගා ද්‍රෝණි තෙත තත්ත්වයක පවතින බවද ඔහු කීවේය.
මෙම ගංගා ද්‍රෝණිවල කඳුකර ප්‍රදේශවලට බලපාන අධික වර්ෂා තත්ත්වයකදී අතු ගංගා සහ ගංගාවලට ජලය සැපයෙන දිය කඳුරුවල ජල තත්ත්වය එකවරම වැඩිවිය හැකි බැවින්, එම ගංගා භාවිතයේදී සැලකිලිමත් වන ලෙසද වතු ආශ්‍රිත පදිංචි ජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. ඊයේ (17 වැනිදා) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම ප්‍රදේශයෙන් මිලි මීටර් 150ක වර්ෂාපතනයක් වාර්තා වී තිබිණි.
aruna