ඉන්ධන කෝටාව වෙනස් වුනොත් ත්‍රිරෝද රථ ගාස්තුව අඩු වෙයි
ඩීසල් හා පෙට්‍රල් මිල (17) සිට අඩු වුවද එම අඩු කළ ප්‍රමාණය බස් ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොමැති නිසා අදාළ මිල ගණන්වල වෙනසක් සිදුනොවන බව බස් සංගම් හා ත්‍රීරෝද රථ සංගම් සඳහන් කරයි.
බස් රථ සඳහා භාවිත කරන ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් පහත දැමීමට කටයුතු කළද, සියලුම අමතර කොටස් මිල දිනපතා ඉහළ යමින් තිබෙන බවත්, මේ නිසා බස් ගාස්තු අඩු කිරීමට නොහැකි බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් පැවසීය.
එමෙන්ම, අමතර කොටස් මිල ඉහළ යාම සේවා කටයුතු සඳහා අය කරන මිල ගණන් දිනපතා ඉහළ යාම නිසා බස් කර්මාන්තය බරපතළ අර්බුදයකට ලක් වී තිබෙන බවත්, මේ නිසා ඩීසල් මිල අඩු වීමට සාපේක්‍ෂව බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේය.
මේ අතර, පෙට්‍රල් ලීටරයක මිල අඩු වූවත්, ත්‍රිරෝද රථ ගාස්තුව අඩු කිරීමට මේ අවස්ථාවේදී නොහැකි බව ත්‍රිරෝද රථ සංගම් සඳහන් කරයි.
පෙට්‍රල් මිල අඩු වීමට සාපේක්‍ෂව ජනතාවට සහනයක් ලබාදීමට නම් දිනකට පෙට්‍රල් ලීටර් 05ක්වත් ලබාදිය යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
කිව්.ආර්. කේතය යටතේ දැනට සතියකට ලබාදෙන්නේ, පෙට්‍රල් ලීටර් 5ක ප්‍රමාණයක් බවත්, මේ නිසා සතියක කාලයක තුළ ධාවනය කිරීමට හැකි වන්නේ, සුළු කිලෝමීටර් ප්‍රමාණයක් බවත් එම සංගමයේ ලේකම් රෝහණ පෙරේරා පැවසීය.
මේ නිසා දිනකට පෙට්‍රල් ලීටර් 05ක් ලබාදීමට කටයුතු කළහොත් අදාළ අවස්ථාවේ සිට ගාස්තු අඩු කිරීමට තීරණයක් ගන්නා බවද ඔහු පවසා සිටියේය.
Aruna