වසන්ත සමරසිංහගේ ප්‍රකාශය ගැන පැහැදිලි කිරීමක්
රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් තමාට අයත් වී-එයිට් (v-8) වර්ගයේ ජීප් රථය කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක විසින් හොර රහසේ විකුණනු ලැබ ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව තමන් වහන්සේගේ ජීප් රථය සොරකම් කළ බවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කළ ද තමන් වහන්සේට එම වංචාව කළේ ව්‍යාපාරික කතක් වන කොළඹ නාගරික මන්ත්‍රීනි ප්‍රියංකා ජයසේකර බවත් කීහ.
ඇය තමාගේ විහාරස්ථානයේ දායිකාවක වූවත් තිළිණි ප්‍රියමාලි විහාරස්ථානයේ දායිකාවක නොවන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ජපානයේ සිටින දායකයකු ත්‍යාගයක් ලෙස නවීන මෝටර් රථයක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව තමාට මෙරට දානපතියකු පරිත්‍යාග කළ වී -එයිට් වර්ගයේ සුදු පැහැති ජීප් රථය විකිණීමට උන්වහන්සේ සූදානම් වී තිබේ. අභයාරාමයට නිතර ආගිය දායිකාවක වන මන්ත්‍රීවරිය පසුව මුදල් දීමේ පොරොන්දුව මත ජීප් රථය ලබා ගෙන ඇත. එකඟ වූ පරිදි මුදල් නොදීම නිසා කළ සොයා බැලීමේ දී ජීප්රථය නිට්ටඹුවේ වාහන අලෙවි කරන මධ්‍යස්ථානයක තිබී ඇත.
එම මධ්‍යස්ථානය හිමියා මෙම ජීප් රථය මිල දී ගෙන ඇත්තේ කල්බදු පහසුකම මත ය. තමන් වහන්සේ එම ස්ථානයෙන් ජීප් රථය ගෙන ආව ද අදාළ කල්බදු සමාගමේ නියෝජිතයන් එය රැගෙන ගිය බව ද ජීප් රථයේ හිමිකාරීත්වය ගැනීමට තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට පැමිණිලි කිරීමෙන් පසු සැකකාර මන්ත්‍රීවරියට නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කළ බව ද උන්වහන්සේ කීහ. ජිප් රථය වංචා කළ චෝදනාවට අදාළව මන්ත්‍රීවරිය දැනට ඇප මත මුදා හැර තිබෙන අතර අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
Aruna