Thursday, February 19, 2026
Follow Us
සැත්කම් පහසුකම් නැතිව එක්ලක්ෂ පනස්දහසක් අඳුරේ

ඖෂධ හා කාච වර්ග පරිත්‍යාග කරන්නැයි දැනුම් දීමක්


අන්ධභාවයෙන් පෙළෙන පුද්ගලයන් එක්ලක්ෂ පනස්දහසකට පමණ යළි පෙනීම ලබා දීමට හැකියාව ඇතත් ඒ සඳහා අවශ්‍ය සැත්කම් කිරීමට පහසුකම් නොමැති බව කොළඹ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්.ඩී.එස්. ගුණතිලක අරුණ ට ඊයේ (13) පැවසීය.

සැත්කම් සඳහා අවශ්‍ය අක්ෂි කාච , එන්නත් වර්ග සහ අනෙකුත් ශල්‍ය උපකරණ නොමැති වීම බරපතළ ගැටලුවක් වී තිබෙන බවත් ඔහු කීවේය.

විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවගේ අක්ෂි සංකූලතා වැඩි වී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

එසේම මේ වනවිට කොළඹ ජාතික රෝහලේ සිදුකරනු ලබන අක්ෂි සැත්කම් සඳහා භාවිත කරනු ලබන්නේ විවිධ පාර්ශ්ව විසින් ප්‍රදානය කරනු ලැබූ කාච සහ ඖෂධ වර්ග වේ.

මෙම තත්ත්වය මත අක්ෂි සැත්කම් ප්‍රමාද වී ඇති අතර ජාතික රෝහලේ මෙම මාසයේ පමණක් අක්ෂි සැත්කම් සිදුකර ගැනීම සඳහා පන්සියදෙනෙකු පමණ පොරොත්තු ලේඛනයේ සිටිති.

මේ වනවිට පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් අක්ෂි කාච මෙරටට ගෙන්වීම නතර වී ඇත. එම නිසා අක්ෂි රෝහලට ඖෂධ වර්ග සහ කාච වර්ග පරිත්‍යාග කරනු ලබන පුද්ගලයන්ට ඒ සඳහා අවස්ථාව ඇති බවද ජාතික අක්ෂි රෝහල දැනුම් දීමක් කරයි.

මේ වන විට අන්ධභාවයෙන් පෙළෙන පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා වර්ධනය වී ඇත.

Aruna