Thursday, March 28, 2024
Follow Us
උමන්දාවේ ගංජා හේනක් ?

21 දින්නත් පැරදුනත් රනිල් දිනුම්


පසුගිය ඉරිදා එනම් 2 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ උමන්දාව විශ්ව ගම්මානයේ සංචාරයක නිරත විය. උමන්දාව විශ්ව ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර හිමියන්ගේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා එහි ගිය අතර එදිනම උමන්දාවට පැමිණෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති හා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකටද සමන්ත්‍රභද්‍ර හිමියන් ඇරියුම් කර තිබුණි. ‘‘අපේ මේ ව්‍යාපෘතිය හරියටම තේරුම් ගන්න පුළුවන් මේ දෙපොළට විතරයි. අපි දැක්කා යහපාලන ආණ්ඩුවේ මුල් කාලේ රනිල් අගමැතිතුමා හා රවි මුදල් ඇමැතිතුමා එකතු වෙලා වේගෙන් මේ රටේ ආර්ථිකය ගොඩ නගපු හැටි. ඉතිං අපි හිතනවා මේ වැටිලා තියෙන ආර්ථිකේ ගොඩ ගන්න, අපි කරන්න යන වැඩපිළිවෙළත් මේ දෙන්නා එකතු වුණොත් සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙයි කියලා’’ සමන්තභද්‍ර හිමියන් රනිල් හා රවි පිළිගනිමින් පැවසීය.

මෙහිදී ජනාධිපතිවරයා වෙනුවෙන් රාජකීය කැවිලි මේසයක්ද සූදානම් කර තිබුණේය. පෙර රජ දරුවන් අනුභව කළ සෑම කැවිල්ලක්ම මේ මේසයේ ඇති බව සමන්තභද්‍ර හිමියන් ජනාධිපතිවරයාට පැවසීය.

අනතුරුව රනිල් හා රවි සමග සාකච්ඡාවට එක් වූ සමන්තභද්‍ර හිමියන් ජනාධිපතිවරයා උමන්දාවට කැඳවීමට හේතු දන්වා සිටියේය. උමන්දාව විශ්ව ගම්මානය ආශ්‍රිතව ජාත්‍යන්තර කෘෂි විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම, උමන්දාව විශ්ව ගම්මානය පාසල් පෙළ පොතට එක්කිරීම, උතුරට හා දකුණට උමන්දාවන් දෙකක් නිර්මාණය කිරීම, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානමින් සිටින විදෙස් ගත දෙමළ ජනයාට අවස්ථාව නිර්මාණය කරදීම හා මේ දිනවල ආන්දෝලනයට තුඩු දී ඇති ගංජා වගාව උමන්දාව ආශ්‍රිතව ආරම්භ කිරීමට කටයුතු කිරීම යන පස් වැදෑරුම් වැඩපිළිවෙළක් මෙහිදී සමන්තභද්‍ර හිමියන් ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කළේය.

Aruna