Wednesday, October 23, 2024
Follow Us
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඉඩම පවරා ගැනීම ගැන ජනාධිපති පරීක්ෂණ කොමිසමෙන් උපදෙස්

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඉඩම රජයට පවරා ගැනීම පිළිබද කෙරෙන විමර්ශනයක් සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය 24 වැනිදා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලදී. එහිදී අමාත්‍යවරයා සදහන් කළේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල, කොළඹ නැගෙනහිර ශික්ෂණ රෝහල නමින් එම රෝහලේ ඉඩම රජයට පවරා ගැනීම සදහා 2019 අගෝස්තු 13 වැනිදා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි. ඒ සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිවූ බවයි.

මේ පිළිබද සැලකිල්ල යොමු කළ කොමිෂන් සභාව විසින් කැබිනට් ලේකම්වරයාට නියෝග කළේ අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසය. ඊට පසු දින (25) කැබිනට් ලේකම්වරයා නියෝජනය කරමින්, කැබිනට් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජූඩ් නිලුක්ෂාන් මහතා කොමිෂන් සභාවට අදාළ අනුමත කරන ලද කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබීය.

කොමිසමේ සභාපති, හිටපු ශ්‍රේෂඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රමුඛ සාමාජික මණ්ඩලය සදහන් කළේ රෝගීන් වෙනුවෙන් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අරමුණ ඉතා ප්‍රශස්ත හා ප්‍රශංසනීය බවයි. තමාද නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් සේවා ලබා ගෙන ඇති අතර එය ඉතා හොද රෝහලක් බව කොමිසමේ සභාපතිවරයා සදහන් කළේය. අවශ්‍ය වන්නේ රෝහලේ ඉඩම රජයට පවරා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් අදාළ පවරා ගැනීම් පටිපාටියට නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව කටයුතු කළ හැකි බව හෙතෙම කියාසිටියේය.

2017 වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය මගින් ලිපියක් යොමු කරමින් කියා තිබුණේ කැබිනට් පත්‍රිකාවක් මගින් අදාළ පවරා ගැනීම සිදු කිරීමට හැකියාව ඇති බවයි. ඒ එවකට සිටි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙතයි. නමුත් පසුගිය වසර 4ක කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ අමාත්‍යංශ ලේකම්වරු 5 දෙනෙකු කටයුතු කිරීමද ගැටලු සහගත තත්වයකි. කෙසේ වෙතත් 2017 වසරේ අගෝස්තු මස සිට 2019 වසරේ අගෝස්තු මස දක්වා වසර 2ක කාලය තුළ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ නොමිලේ ප්‍රතිකාර ලබා ගත් රෝගීන් සංඛ්‍යාව 495,000කි.

ඒ අතර බාහිර රෝගී අංශයෙන් රෝගීන් 173,185ක්, ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයෙන් රෝගීන් 31,888ක්, නේවාසික රෝගීන් 34,352ක් සහ පෞද්ගලික වෛද්‍ය හමු 86,010ක් ඇතුළු නොමිලේ ප්‍රතිකාර සේවා ලබා ගත් තවත් බොහෝ පිරිසක් වේ.

අදාළ කාලය තුළ රජය මගින් කිසිදු අමතර වියදමක් දරා නොමැති අතර සියලු වියදම් ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාම සදහා පමණක් සිදු කර ඇත. සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීතුමන් සහ අධ්‍යක්ෂ ජනරාල් (මුදල්) විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලිඛිතව වාර්තා කර ඇත්තේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා වෙත හෝ ඔහුගේ ණය පිය වීමක් හෝ පවරා ගැනීම සදහා කිසිදු ගෙවීමක් සිදු කර නොමැති බවයි.

(LNW)