Thursday, May 16, 2024
Follow Us
විසඳුම් ලැබෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තීය සමිති කියයි

සිය වැටුප් ගැටළුවට විසදුමක් ලැබෙන තුරු ඊයේ (25) රාති‍්‍රයේ සිට ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

ඒ, පිළිබඳ කරුණු දැක්වු ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් පී. එම්. පී. පීරිස් කියා සිටියේ "දුම්රිය නියාමක, දුම්රිය රියදුරු, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය පාලක, අධීක්ෂණ කළමනාකරණ කියන සේවයන් ඒකාබද්ධව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹිලා තියෙනවා. වසර ගණනාවක සිට පවතින වැටුප් ගැටලුව මුල්කරගෙන තමයි මෙම ක්‍රියාමාර්ගයට එළඹුණේ. දිගින් දිගටම සිදුකළ සාකච්ඡාවලට බලධාරීන් සාධාරණයක් ඉටු කළේ නෑ.මෙම ගැටලුව නිරාකරණය කරන තුරු ආරම්භ කළ වර්ජනය ක්‍රියාත්මක කරනවා. මේ වන විට කිසිම දුම්රියක් ධාවනය කිරීමට හැකියාවක් නෑ." යනුවෙනි.

කෙසේවෙතත් අද (26) උදෑසන දුම්රිය කිහිපයක් ප‍්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කළා. අලුයම 04.50 ට සහ අලුයම 05.30 ට ගාල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය 02 ක් කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කර තිබෙනවා.

එම දුම්රියන් ගාල්ල සිට කොළඹ කොටුව දක්වා ඇති සියලූම දුම්රිය ස්ථානවල නතර කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

ගාල්ල දුම්රිය ස්ථානයෙන් උදෑසන 06.11 ට ද දුම්රියක් ගමන් ආරම්භ කළා. එම දුම්රිය අලුත්ගම දුම්රිය ස්ථානය දක්වා සීග‍්‍රගාමීව ධාවනය කෙරෙන අතර අලුත්ගම සිට මරදාන දක්වා සෑම දුම්රිය ස්ථානයකම නැවැත්වීමට නියමිතයි.

අලුයම 05.30 ට හලාවත දුම්රිය ස්ථානයෙන් සහ අලුයම 05.35 ට අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් තවත් දුම්රිය 02 ක් කොළඹ කොටුව දක්වා ධාවනය කිරීම ඇරඹුණා.

කුරුණෑගල දුම්රිය ස්ථානයේ සිට තවත් දුම්රියක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කර ඇත්තේ අලුයම 05.57 ටයි.

දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න පැවසුවේ මහනුවර දුම්රිය ස්ථානයේ සිට තවත් දුම්රියක් අද උදෑසන ගමන් ආරම්භ කළ බවයි.

මේ අතර දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් මගීන්ට ඇතිිවන ප‍්‍රවාහන දුෂ්කරතා මග හැරවීමට බස්රථ ගමන්වාර සංඛ්‍යාව වැඩි කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. ඒ සම්බන්ධයෙන් දුම්රිය ස්ථාන ආසන්න ඩිපෝවල සියළුම ඩිපෝ අධිකාරීවරුන්ට උපදෙස් ලබා දී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ පැවසුවා.

(Neth)