Wednesday, February 18, 2026
Follow Us
වනිඳු සහ භානුක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියටම

භානුකට ප්‍රසාද ලකුණු 524ක්


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ නවතම ලැයිස්තුව මේ වන විට නම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීම කැපීපෙනෙන සිදුවීමක් වේ.

ඒ ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය දැක්වූ දක්ෂතා හේතුවෙනි.

තරගාවලිය ආරම්භ වනවිට ඔහු එම සටහනේ පසුවූයේ 8 වන ස්ථානයේය.

ඒ අනුව සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයින් වන ග්ලේන් මැක්ස්වේල්, ජේ.ජේ. ස්මිට්, හර්ඩික් පාණ්ඩ්යා සහ සීසාන් මක්සූඩ් පසුකර වනිඳු ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට පැමිණ ඇත.

වනිදුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 184කි.

ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ මුල්තැන පසුවන්නේ ප්‍රසාද ලකුණු 248ක් හිමිකරගෙන සිටින බංගලාදේශ කණ්ඩායමේ නායක ශකීබ් අල්හසන් ය.

එමෙන්ම වනිදු ICC පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේද එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ.

ප්‍රසාද ලකුණු 692ක් හිමිකරගනිමින් ඔහු මේ වනවිට එම ශ්‍රේණිගත කිරීමේ 6වන ස්ථානයේ පසුවෙයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු වන භානුක රාජපක්ෂ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 33ක් පසුකර ඉදිරියට ඒමට සමත්ව තිබේ.

ඒ අනුව මේ වනවිට භානුක එම ශ්‍රේණිගත කිරීමේ සටහනේ ප්‍රසාද ලකුණු 524ක් හිමිකරගනිම්න් 34 වන ස්ථානයේ පසුවෙයි.

එම ශ්‍රේණිගත කිරීමේ සටහනේ මුල්තැන හිමිකරගෙන සිටින්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කමින්ස් ය.

Aruna