Thursday, May 16, 2024
Follow Us
වැසි තත්ත්වය හෙට සිට අඩුවිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට (26) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් ද, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු පළාත්වල, විශේෂයෙන් සවස් කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.

මේ අතර ඊයේ (24) පෙරවරු 8.30 සිට අද (25) පෙරවරු 6.30 දක්වා කාලය තුළ වාර්තා වූ වැඩිම වර්ෂාපතන ගාල්ල දිස්ත්‍රික්කයේ හියාරේ ප්‍රදේශයෙන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

එය මිලිමීටර් 106.0ක අගයක් බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

(Aruna)