Thursday, May 16, 2024
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද පාකිස්තානයට

එක්දින තරග 3කට සහ විස්සයි20 තරග 3කට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (24) පාකිස්තානය බලා පිටත්ව යයි. ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් ආරක්ෂාව පිළිබඳ ඇතිකරගත් විවිධ මත හේතුවෙන් මේ සංචාරයෙන් ඉවත්වී සිටින බැවින් හෙට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය බලා පිටත්ව යන්නේ ළහිරු තිරිමාන්නගේ එක්දින තරග නායකත්වයෙන් සහ දසුන් ශානකගේ විස්සයි20 පිලේ නායකත්වයෙනි.

පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ පසුගිය දින කිහිපය පුරා ඇතිවූ විවිධ මත ගැටුම් විසඳා ගැනීමෙන් පසුව ක්‍රියාත්මක වන මේ සංචාරයට අයි.සී.සී.යේ ද අවධානය යොමුවී තිබූ අතර පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසුව මේ තරගාවලිය සඳහා තරග තීරක සහ විනිසුරුවන් නම් කරමින් පාකිස්තාන සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කදිම ආරක්ෂක සහතිකයක් ලබා දුන්නේය.

ඒ අනුව තරග තීරකවරයා ලෙස ඩේවිඩ් බූන් නම් කර ඇති අතර විනිසුරුවන් ලෙස එක්දින තරගාවලිය සඳහා මයිකල් ගෆ් සහ ජොයෙල් විල්සන් ද නම් කර තිබේ. තුන්වැනි එක්දින තරගයට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් අලීම් ඩාර් නම් කර ඇති අතර තවත් පාකිස්තාන විනිසුරුවරුන් කිහිපදෙනකුටම තරග විනිශ්චය කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.

දෙපිල අතර එක්දින තරගාවලිය කරාච්චි නුවරදී පැවැත්වෙන අතර විස්සයි20 තරගාවලිය ලාහෝර් නුවරදී පැවැත්වෙයි.

*************

තරග කාලසටහන

සැප්.27- පළමු එක්දින තරගය / සැප්.29 දෙවැනි එක්දින තරගය / ඔක්.2 තුන්වැනි එක්දින තරගය

ඔක්. 5 පළමු විස්සයි20 තරගය / ඔක්.7 දෙවැනි විස්සයි20 තරගය / ඔක්.9 තුන්වැනි විස්සයි20 තරගය

(Dinamina)