Monday, December 29, 2025
Follow Us
කතරගම මහා දේවාලයේ යතුර ගැන පොලිස් පරික්ෂණයක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ යතුර සම්බන්ධයෙන් මේවනවිට ගැටළුවක් මතුව තිබෙනවා. ඒ, දේවාලයේ යතුරෙහි භාරකාරීත්වය සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් සම්ප්‍රදායානුකූලව දේවාලයේ යතුරෙහි භාරකාරීත්වය පැවතිය යුත්තේ කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා සතුවයි.

එහෙත් මේ වනවිට එම යතුර බලහත්කාරයෙන් දේවාලයේ ප්‍රධාන කපු මහතා, ඔහුගේ සන්තකයේ තබාගෙන සිටින බවටයි වාර්තා වන්නේ. මෙම සිද්ධිය මේවනවිට පොලිස් පරීක්ෂණයක් දක්වා දුරදිග ගොස් තිබෙනවා. ඒ, යතුරෙහි භාරකාරීත්වය සම්බන්ධයෙන් කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමත් සමගයි.

පොලිස් ආරංචි මාර්ග පැවසුවේ කපු මහතා විසින් ඉකුත් ජුනි මස 29 වනදා සිට දේවාලයේ යතුර ඔහු සන්තකයේ තබා ගෙන ඇති බවට බස්නායක නිලමේවරයා පැමිණිලි කර ඇති බවයි. අවුරුදු දෙදහසකටත් වඩා පැරණි පෞරාණික භාණ්ඩ මෙන්ම රන්, රිදී, මුතු, මැණික් ද දේවාලය තුළ ඇති බව එම පැමිණිල්ලේ සඳහන්. දේවාලයේ වෙනත් කපු මහතෙකු යතුර රැගෙන ගොස් ප්‍රධාන කපු මහතා වෙත භාරදී ඇති බව ද බස්නායක නිළමේවරයා පැමිණිලි කර තිබෙනවා.

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් දේවාලයේ යතුරේ භාරකාරීත්වය නිල වශයෙන් භාරදී ඇත්තේ බස්නායක නිලමේවරයාටයි. ඒ අනුව යම් හෙයකින් දේවාලයේ ඇති වටිනා භාණ්ඩ අස්ථානගත වුවහොත් එහි වගකීම පැවරෙන්නේ ද බස්නායක නිලමේවරයාටයි. ඒ අනුව සාපරාධී විශ්වාසය කඩකිරීමේ අපරාධ චෝදනාවක් යටතේ බස්නායක නිලමේවරයා විසින් අදාළ පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් වසර කිහිපයකට පසු ඓතිහාසික රුහුණු මහා කතරගම ඇසළ පෙරහර මංගල්‍යය අවසන් වූයේ ද ඉකුත් 12 වනදායි.

Neth