විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ අද දහවල් පවතින මාධ්‍ය හමුවකදී නිල වශයෙන් විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය දැනුම් දෙන බවයි.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමටද මහජන උපයෝගිතා කොමිසම ඉකුත් කාල සීමාවේදී පියවර ගෙන තිබුණා. එම යෝජනා සහ අදහස්ද සැලකිල්ලට ගණිමින් නව ගාස්තු සංශෝධනය සිදු කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ.
මේ අතර විදුලි සම්බන්ධතා ලබාදීමේ දී පාරිභෝගිකයින් ගෙන් අයකරනු ලබන තැන්පතු මුදල් සදහා පොලියක් ගෙවීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විසින් එම දැනුම්දීම සිදු කර ඇත්තේ විදුලි බල සහ පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමය, විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැදවනු ලැබු අවස්ථාවේදීයි.
විදුලි බල පනතේ 28 වගන්තිය යටතේ විදුලි සම්බන්ධතා ලබා දීමේ දී අයකරනු ලබන තැන්පතු මුදල් සදහා පොලියක් ගෙවීමට විදුලි බල මණ්ඩලය බැදී සිටින බව පෙත්සම්කාර පාර්ශවය පෙන්වාදී තිබෙනවා. එහෙත් එවැනි ගෙවීමක් සිදු නොකෙරෙන බවයි පෙත්සම්කරුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ. එහිදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා, පාරිභෝගිකයා සතු එම අයිතිවාසිකම පිළිගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් තම ආයතනය මේ වන විට මූල්‍ය ගැටළුවකට මුහුණ පා සිටින බැවින් අදාල පොලිය ගෙවීමට නොහැකි බවයි රජයේ නීතිඥවරයා සඳහන් කර ඇත්තේ. එහෙත් අදාළ මුදල පාරිභෝගිකයින්ගේ විදුලි බිලෙන් අඩු කිරීමට හැකියාව තිබෙන බව පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා පෙන්වා දී තිබෙනවා. මෙම කරුණු සලකා බැලීම සඳහා අදාළ පෙත්සම ඔක්තෝබර් මස 04 වනදා යලි කැඳවීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ.
විදුලි බල සහ පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමය, එහි සභාපති මහේෂ් බණ්ඩාර ඉලංගසිංහ, එහි ලේකම් ප්‍රසාද් භාතිය අමරකෝන් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.
Neth