Monday, December 29, 2025
Follow Us
පාතාලයෝ මන්ත්‍රි ඝාතන අරඹති

හරක්කටාගේ ගෝලයෝ උසාවියටත් පැන වෙඩි තියති
කොටිකාවත්ත ප්‍රා. මන්ත්‍රි කරාටි ධම්මිකගේ ඥාතියෙක්


ගල්හේනගේ ධම්මික ප්‍රදීප් කුමාර කඩුවෙල පාතාලයේ අපරාධකරුවකු ලෙස බෞතිස්ම ලැබුවේ ‘කරාටේ ධම්මික’ ලෙසය. අනූව දශකයේ නවගමුව පත්තිනි දේවාලය ආසන්නයේ ප්‍රජා ශාලාවක කරාටේ පන්තියක් පවත්වාගෙන ගිය ඔහුට නවගමුව, කඩුවෙල, අංගොඩ, මුල්ලේරියාවේ ආදී ප්‍රදේශවල තරුණ ​ගෝලයෝ සිය ගණනක් සිටියහ. නමුත් ඉන් ලැබෙන සොච්චම් මුදල ධම්මිකට ජීවත් වීමට තරම් ප්‍රමාණවත් නොවීය. මේ කාලයේ, කඩුවෙල, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, රණාල, නවගමුව ඇතුළු ප්‍රදේශ රැසකම පාතාල බලය තහවුරු කරගත් නමගිය අපරාධකරු වූයේ කඩුවෙල වසන්තය. එම ප්‍රදේශවල බොහෝ දෙනකු සිටියේ කඩුවෙල වසන්තගේ නම කීවත් බියේ මුත්‍රා පිටවන තැනය. කරාටේ ධම්මික හා වසන්ත අතර පැවතියේ හොඳ සම්බන්ධයකි. ධම්මිකට නැතිබැරිකම් වන සෑම විටම ඔහුට මුදලින් උපකාර කිරීමට තරම් වසන්ත ඉදිරිපත් වූවේය.

 

කරාටේ ධම්මික

“වසන්ත අයියා මේ පන්ති කෙරුවාව හැමදාම කරන්න බැහැ. සල්ලි ටිකක් අතට එන වැඩක් සෙට් කරල දෙන්න.’’ යැයි වරෙක ධම්මික වසන්තට කීවේ සල්ලි නැතිව තුට්ටු දෙකටම වැටී ඇති කාලයකදීය. එහිදී තමන් හා ඉන්නැයි වසන්ත ධම්මිකට කීවේ ධම්මිකගේ කරාටි ශිල්පයද තමන්ගේ වැඩවලටද බෙහෙවින් උවමනා වනු ඇතැයි විශ්වාස කළ නිසාය. මේ අනුව කරාටේ ධම්මිකද වසන්ත පාතාලයට එක් වූයේය. වසන්තගේ කොන්ත්‍රාත් මත අපරාධ කිරීම, තර්ජනය කිරීම්, පහරදීම් වැනි අපරාධ වසන්තගේ අණසක මත කරාටේ ධම්මික ඉටු කළේය. පුද්ගලයින් හත් අට දෙනකු සමග තනිව සටන් කළ හැකි ජව සම්පන්න උපක්‍රමශීලි සටන්කාමියෙකු වූ නිසාම වසන්තගේ පාතාල කල්ලියේ ප්‍රභලම චරිතයක් බවට ධම්මික පත්වීමට වැඩි දවසක් ගියේ නැත.

අන්තිමේදි ධම්මික පාතාලේ රජවන්නට කඩුවෙල වසන්ත සහ ගෝලයින් පස් දෙනෙකුම වෙඩි තබා ඝාතනය කළහ. ඊට නායකත්වය දී තිබුණේ ද ආමි රොෂාන්ය.
කඩුවෙල පාතාල බලය ගත් ධම්මික නවගමුව, බෝමිරිය, හංවැල්ල, පාදුක්‌ක ඇතුළු ප්‍රදේශ ගණනාවක ධනවත් ව්‍යාපාරිකයන් ඇතුළු පොහොසතුන් ඝාතනය කරමින් ඇතැමුන්ට මරණ තර්ජනය කරමින් පාතාලයේ බලය ව්‍යාප්ත කර ගත්තේය. මාසිකව රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් ගත්තේය.

මේ ආකාරයෙන් වසර ගණනාවක් කඩුවෙල පාතාලයේ ක්‍රියාවලට ධම්මිකගේ නැගණියගේ පුතුවන අඹතලේ පදිංචි සුමුදු රුක්ෂාන් සම්බන්ධ කරගත් බව සඳහන්ය. සිය මාමා නිසාම සුමුදුද කඩුවෙල පාතාලයේ නම ගිය චරිතයක් බවට පත්වූ පසු කප්පම් මුදල් එකතු කළ බවට චෝදනා එල්ල විය. නොයෙකුත් කොන්ත්‍රාත් බාර ගත්තේය. නමුත් මේ පාතාලයෝ මත්ද්‍රව්‍ය ජාවාරම් නොකළෝය.

මේ අතරේ 2009 වසරේ සිට කරාටේ ධම්මික ආගිය අතක් නැති විය. ධම්මිකගේ ගෝලයන් කියන්නේ පාතාල මර්දන මෙහෙයුමකදී ආරක්ෂක අංශ ධම්මික උස්සා අතුරුදන් කර ඇති බවය. අන්තිමේ දී කරාටේ ධම්මිකගේ කඩුවෙල පාතාල අධිරාජ්‍යය බිඳ වැටුණේය. ඉන් අනතුරුව පාතාල බලය අංගොඩ ලොක්කා, සමයං, ඌරුජුවා ඇතුළු විවිධ අපරාධකරුවන් අතරේ දෝළනය විය. එයත් සමග සුමුදු රුක්ෂාන් ඇතුළු ධම්මික කල්ලියේ සාමාජිකයන්ට තිබූ පාතාල බලය ද අහිමි වී ගියේය.
අන්තිමේදී අඹතලේ ප්‍රදේශයේ හෝටල් ව්‍යාපාරයක් ආරම්භ කරමින් ජීවත් වීමට පය තැබූ සුමුදු කප්පම් ගැනීම් වැනීම් වැනි අපරාධ ක්‍රියාවලින් ඉවත් වී යහපත් ජීවිතයක් පටන් ගත්තේය. එමෙන්ම යම්යම් ව්‍යාපාර කළේය. මේ කාලයේදී කොළොන්නාව ආසනයේ ප්‍රබල දේශපාලන චරිතයක් සමග අත්වැල් බැඳ ගත්තේය. වරෙක අත්අඩංගුවට ද පත්වන මොහු ඒ වේලාවේ බේරාගෙන ඇත්තේ ද ඒ දේශපාලන ප්‍රබලයා විසිනි. දේශපාලන හයියත් සමග සුමුදුට ආණ්ඩුවේ කොන්ත්‍රාත් ලැබුණි. කැලණි ගඟේ වඩදිය දමන කාලයේදී මුහුදු ජලය ඒම වැළැක්වීම සඳහා ගඟ හරස් කරමින් වැලි කොට්ටා බැඳීමේ කොන්ත්‍රාත්තුව ලැබුණේ ඔහුටය.

අන්තිමේ දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගෙන් පසු කොළොන්නාව ආසනයට පත් වූ තරුණ දේශපාලකයකු හා එක්වන සුමුදු දේශපාලනයට අවතීර්ණ විය. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට තරග කරන මොහු 2015 පළාත් පාලන මැතිවරණයට තරග කර එම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස තේරීපත් විය. මේ කාලයේදී සිය බලය උපයෝගී කරගනිමින් වගුරු බිම් ගොඩ කර ඉඩම් විකිණීම් වැනි ක්‍රියා කළ බවට චෝදනා එල්ල විය. එපමණක් නොව සිය බාල සහෝදරයාට ගල්කොරියක් කිරීමට ද අවසර දුන්නේය. ඔහු ඒ ව්‍යාපාරවලින්ම ධනවතෙකු විය. ඔහු පසුගිය 2018 මැතිවරණයටද තරග කර වැඩිම මනාප ගනිමින් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට තේරී පත්වුවත් ඔහුගේ උප සභාපති ධුරය හිමිනොවීය.

අංගොඩ බැංකු හංදියේ ව්‍යාපාරයක් කරගෙන සිටියෙදී ඝාතනයට ලක්වූ පොලී රොෂාන් නැමැත්තාගේ ඉඩමක සුමුදු වැලි සහ ගල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. මීට වසර කිහිපයකට පෙර අංගොඩ මුල්ලේරියාව ප්‍රදේශවල බලය අල්වා ගෙන සිටි අංගොඩ ලොක්කා නැමති අපරාධකරු සමග ඇතිවූ ආරවුලක් නිසා රොෂාන් ඝාතනයට ලක්වූයේය. ඔහුගේ මුදල් සහ ඉඩම් වගේම පොලී ව්‍යාපාරය ගැන ගනුදෙනු සටහන් කළ පොතද අංගොඩ ලොක්කා ළඟට ගත්තේය. එතැන් සිට රොෂාන්ගේ පොලී මුදල් ගත්තේ අංගොඩ ලොක්කාය. පසුව අංගොඩ ලොක්කා ඝාතනය වීමෙන් පසුව එම මුදල් බෙදාගැනීමට අංගොඩ ලොක්කාගේ ගෝලයෝ සහ මිතුරෝ මිනී මරාගත්හ. සුමුදු රුක්ෂාන් ද පොලී රොෂාන්ට අයත් මෙම ඉඩම අත්පත් කරගැනීම හේතුවෙන් ඔවුනොවුන් අතර ද ආරවුල් ඇති වූයේය.

පාතාල සාමාජිකයෙකු වන පෙතියාගොඩ සංඛ ද මෙයට ටික දිනකට පෙර සුමුදු රුක්ෂාන් සමග ආරවුලක් ඇතිකරගත්තේය. එය කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය වී නැත. සුමුදු අංගොඩ ජිලේ නැමැත්තා සමග ආරවුලකදී පවසා ඇත්තේ ‘‘උඹව මරන්න මට වැඩි වෙලාවක් යන්නේ නැහැ’’ යනුවෙනි. එම තර්ජනය සිදුව ඇත්තේ ද මාස කිහිපයකට පෙරය. මෙම තර්ජනයෙන් පසු සුමුදු සිට ඇත්තේද භීතියට පත්වය. මේ නිසා වැඩිය එළි පෙහෙළියේ ගමන් නොකිරීමටද සුමුදු වගබලා ගත්තේය.

එවන් තත්ත්වයක් මැද පසුගිය (02 වැනිදා) අංගොඩ බැංකු හන්දියේ පිහිටි ඉඩමට සුමුදු ගොස් ඇත්තේ එය ශුද්ධ පවිත්‍ර කිරීම බැලීමටය. ඒ අතරතුර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් සුමුදුට වෙඩි තැබූහ. පළමු වෙඩිල්ලෙන් බේරි මීටර් පනහක් පමණ දිව ගියත් ඔහු පසුපස හබා විත් වෙඩික්කරුවෝ ඉලක්කය ගත්හ. වෙඩි පහරින් සුමුදු ජීවිතක්ෂයට පත්වූහ.

මේ අපරාධය කළේ කවුරුන්ද කාගේ උවමනාවක් මතද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. මාසයක් පුරා මුළු රටේ හැමතැනම වාර්තාවන්නේ පාතාලේ මරා ගැනිලිය.
පසුගිය මැයි 30 වැනිදා කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටින් ආරම්භ වූ පාතාලයේ ඝාතන දඩයමේ 30 වැන්නා වූයේ සුමුදුය. අවසන් වරට ඔහු ඝාතනය වූවත් මේ පාතාල ඝාතන රැල්ලේ අඩුවක් නැතුවාම නොවේය. විදෙස්ගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උවමනාවන් හා කොන්ත්‍රාත් මත මේ ආකාරයෙන් ඝාතනයට ලක්වූ බොහෝ පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින්ය. තවත් සමහරුන් පොලිසියේ තොරතුරුකරුවන් හා රජයේ සාක්කිකරුවන්ය. එමෙන්ම සැලකිය යුතු තවත් පිරිසක් වෙනත් හේතුන් මත ඝාතනය වූවෝය.

පාතාලය කොතරම් දුරට ඉහළට විත් ද කියනවා නම් උන් දැන් නීතියේ දෙවඟන සිටින අධිකරණ තුළටත් පැමිණ වෙඩි තබා යන්නට තරම් නිර්භීත වී ඇත්තේය. ගල්කිස්ස ම​ෙහස්ත්‍රාත් අධිකරණයේ ඉකුත් 04 වැනිදා විභාග වූ නඩුවකට ඉදිරිපත්ව සිටි අහංගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විත්තිකූඩුවේ සිටියෙදීම වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සහායක් ව්‍යාර්ථ වී ගියේය. එලෙස ඝාතනය කිරීමට උත්සහා දරා තිබුණේ මිදිගම නදුන් චින්තක නොහොත් හරක් කටා නැමති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට එරෙහිව විභාග වූ නඩුවක සාක්කිකරුවෙකි.

කෙසේ නමුදු එම වෙඩි ප්‍රහාරයෙන් ඔහු දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වූවේය. ඒ වාසනාව තව කොච්චර කල් තිබෙනවාදැයි දන්නේ උඩ ඉන්නා දෙයියන් පමණි. මක්නිසාද යත් ධර්ම චක්‍රය බාහුවේ ගසා ගත් පොලිසිය තමන්ට ඔත්තු දෙන ඔත්තුකරුවන් මරා දමනතෙක් තවමත් කට ඇරගෙන උඩ බලාගෙන සිටින නිසාය.

Aruna