Monday, December 29, 2025
Follow Us
විදුලි පරිභෝජනය 20%කින් පහළට

විදුලි උපකරණ භාවිතය අවම වෙයි


මෙරට විදුලි ඒකක පරිභෝජනය සියයට විස්සකින් පහළ ගොස් ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේය.

මීට මාස හයකට පමණ පෙර දිනකට විදුලි ඒකක මිලියන 48 ක් විදුලි පාරිභෝගිකයන් භාවිතා කලද මේ වන විට එම ඒකක ගණන මිලියන 38ක් ලෙස පහළ ගොස් ඇති බව මෙම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අප කළ විමසුමකදී කියා සිටියේය.

මාස කිහිපයක් තිස්සේ සිදුකළ විදුලි කප්පාදුවද එමෙන්ම විදුලි උපකරණ අවම වශයෙන් භාවිතා කිරීමට පරිභෝහිකයන් යොමුවීමද මීට හේතු ලෙස හෙතම පෙන්වා දෙයි.

ජල විදුලි නිෂ්පාදනය වැඩි කිරීමට හැකියාව පැවතුනද ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීමෙන් බලාගාර අඩපණ තත්ත්වයේ පවතින බැවින් දිනකට පැය තුනක පමණ කාලයක් දක්වා ඉදිරි මාස කිහිපය ගතවන තුරුද විදුලිය කප්පාදු කිරීමට සිදු වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේය.

මෙම තත්ත්වය මත විදුලි කප්පාදුව නැති වීමට කිසිදු ඉඩකඩක් නොමැති වුවත් ජල විදුලිය නිෂ්පාදනය ඉහළ යාමක් දිගින් දිගටම සිදුවූහොත් දීර්ඝ වෙලාවකට විදුලි කප්පාදුවකට යාමේ අවශ්‍යතාවක් මතුනොවෙනු ඇතැයි විශ්වාස කරන බව එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේය.

පසුගිය දින කිහිපයේදී ලැබුණු වර්ෂාව හේතුවෙන් විදුලි ඒකක මිලියන සියයක පමණ ප්‍රමාණයක් නිපදවීමට හැකි ජල ධාරිතාවක් ලැබී ඇති බව විමසුමකදී සභාපතිවරයා පෙන්වා දුන්නේය.

සියලුම බලාගාර අශ්‍රිත ජලාශවල ජල ධාරිතාව මේ වන විට සියයට 60ක් පමණ දක්වා වර්ධනය වී ඇත.

Aruna