Sunday, May 05, 2024
Follow Us
බුර්කා-නිකාබ් තහනම අහෝසියි !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාවට හා නිකාබයට එරෙහිව පැනවූ තහනම මේ වනවිට ඉවත්ව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. හදිසි නීතිය යටතේ මෙම තහනම පනවා තිබූ අතර මේ වනවිට හදිසි නීතිය ඉවත් කර තිබෙන හෙයින් බුර්කා-නිකාබ් තහනම ද ඉබේම අහෝසි වී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් මේ සම්බන්ධයෙන් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා වෙත යවන ලද ලිපියක සඳහන් වන්නේ හදිසි නීති රෙගුලාසි තවදුරටත් බලාත්මක නොවන හෙයින් බුර්කාව හා නිකාබය පැළඳීමට මුස්ලිම් කාන්තාවන්ට කිසිදු තහනමක් නොමැති බවයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව, මුස්ලිම් කාන්තාවන් බුර්කාව හා නිකාබය පැළඳ පොදු ස්ථානවල ගැවසීම ආරක්ෂාවට තර්ජනයක් බවට සමාජය තුළ කතාබහක් ඇති වූ අතර එවැනි ඇඳුම් පළඳින කාන්තාවන්ට මහජනතාවගෙන් විරෝධය ද එල්ල විය. ඇතැම් ආයතන බුර්කාව සහ නිකාබය පැළඳ සිය ආයතන තුළට පැමිණීම වාරණය කරමින් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමට පවා ඉදිරිපත් විය.

අජිත් රෝහණ මහතා අමාත්‍යවරයා වෙත යැවූ ලිපියෙන් අවධාරණය කරන්නේ මෙම ඇඳුම් පැළඳ සිටින මුස්ලිම් කාන්තාවන්ට එරෙහිව මින් ඉදිරියට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බවයි.

(LNW)