Sunday, May 05, 2024
Follow Us
පූජිත් සහ හේමසිරිට එරෙහිව ගොනු කෙරුණු ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව 09 වැනිදා

අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිකුත් කළ නියෝගය අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ තින්දුව ඔක්තෝබර් මස 09 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (20) දැනුම් දුන්නා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරනයේ දී සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ජූලි මස 9 වැනි දා නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට නීතිපතිවරයා මෙම ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා සිටියා.

පසුගිය අප්‍රේල් මස 21 දා සිදු වු බෝම්බ ප්‍රහාර වලින් සිදු වූ ජීවිත සහ දේපල හානි වළක්වා ගැනීමට කටයුතු නොකරමින් අපරික්ෂාකාරිව රාජකාරි යුතුකම් පැහැර හැරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේඛම් හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ජූලි මස 9 දා නියෝග කළා.

(Neth)