Tuesday, February 17, 2026
Follow Us
ඉන්ධන ජාවාරම් මැඩලන පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග

නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස්කිරීම සහ වැඩි මිලට අලෙවි කරන ස්ථාන වටලන පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදල් පිරිනැමීමට පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා.

ඒ අනුව නීති විරෝධී ලෙස ඉන්ධන අලෙවි කරන ස්ථාන වටලා ඉන්ධන ලීටර් සියයක් දක්වා අත්අඩංගුවට ගන්නා නිලධාරීන්ට උපරිම ත්‍යාග මුදල ලෙස රුපියල් 50,000 ක මුදලක් ගෙවීමටයි පොලිස්පතිවරයා නිර්දේශ කර ඇත්තේ.

ඉන්ධන ලීටර් 100 ත් 500 ත් අතර ප්‍රමාණයක් වැටලීම මඟින් අත්අඩංගුවට ගතහොත් උපරිම ත්‍යාග මුදල ලෙස රුපියල් දෙලක්ෂයක මුදලක් පිරිනැමීමට නියමිතයි. ඉන්ධන ලීටර් 500 ත් 1,000 ත් දක්වා අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට අනුමත කර ඇති උපරිම ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 03 ක්.

ඉන්ධන ලීටර් 1,000 ඉක්මවූ වැටලීම් සම්බන්ධයෙන් ගෙවන ත්‍යාග මුදල අදාළ විස්තර පොලිස් මූලස්ථානයට යොමු කිරීමෙන් පසු තීරණය කරන බවටයි පොලිස්පතිවරයා විසින් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් වෙත නිකුත් කළ චක්‍රලේඛයක දැක්වෙන්නේ.

නීති විරෝධිව ඉන්ධන තොග රැස්කරන සහ වැඩි මිලට ඉන්ධන විකිණීමේ ජාවාරම් මැඩ පැවැත්වීමටත්, ඊට අදාළ වැටලීම් සඳහා සහභාගී වන නිලධාරීන් දිරිමත් කිරීම සඳහාත් එම තීරණය ගෙන ඇති බව අදාළ චක්‍රලේඛයේ දක්වා තිබෙනවා.

එමෙන්ම අදාළ ත්‍යාග මුදල් ලබාදීම දින 07 ක් ඇතුලත සිදු කිරීමටත්, එම ක්‍රියාවලිය පළමු අදියරේදී අගොස්තු 24 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමටත් අදාළ චක්‍රලේඛය මඟින් උපදෙස් ලබාදී තිබෙනවා.

Neth