මගීන් දහස් ගණනක් නොමිලේ දුම්රියෙන් ගමන් ගිහින්
දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කිරීම ගැටලු සහගත බවට චෝදනා කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් පෙරේදා (23) සවස හයේ සිට ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (24) දහවල් දෙකට පමණ අවසන් කෙරිණි.
මෙම කාලය තුළ ප්‍රවේශ පත්‍ර නිකුත් නොකළ අතර දුම්රිය 80කට වැඩි සංඛ්‍යාවක මගීන් දහස් ගණනක් නොමිලේ ගමන් කිරීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි දෙකක පමණ පාඩුවක් සිදුව ඇත.
පසුගිය 22 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුවට සියයට 50ක අඩු ප්‍රතිශතයකින් දුම්රිය ගාස්තු ඉහළ දැමු අතර අවම දුම්රිය ගාස්තුව රුපියල් 20ක් විය.
කෙසේ නමුත් මෙම දුම්රිය ගාස්තු වැඩි කිරීම ගැටලු සහගත බවත් අදාළ වැඩි කිරීම භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රසිද්ධ නොකිරීම හේතු කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් අතර ඊයේ දහවල් (24) දුම්රිය සාමාන්‍යාධිකාරී, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, දුම්රිය වාණිජ අධිකාරී ඇතුළු බලධාරීන් සමගින් සිදු කළ සාකච්ඡාවෙන් පසු වැඩ වර්ජනය අවසන් විය.
මෙහිදී දුම්රිය බලධාරීන් ප්‍රකාශ කර සිටියේ අගෝස්තු 01 වැනිදාට පෙර පවතින එම ගැටලුකාරී සංශෝධනය නිවැරදි කර භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රසිද්ධ කරන බවය.
අද (25) සිට ගැසට් කර ඇති ගාස්තු සංශෝධනයට අනුව දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර පැවැසීය.
Aruna