Sunday, December 28, 2025
Follow Us
ලංගම ඩිපෝවලින් ඉන්ධන නොලැබෙන බවට පාසැල් බස් සහ වෑන් රථ රියදුරන්ගෙන් මැසිවිලි

පාසැල් බස් සහ වෑන් රථ සඳහා අද දිනයේ ඉන්ධන ලබානොදුනහොත් හෙට දිනයේ පාසැල් ළමුන් ප්‍රවාහනය කිරීමට නොහැකි බව එම වෘත්තිය සමිති පවසනවා. සමස්ථ ලංකා පාසැල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල් මල්ශ්‍රී ද සිල්වා පැවසුවේ ඊයේ පස්වරු 03 සිට ලංගම ඩිපෝ මඟින් පාසැල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා ඉන්ධන නිකුත් කරන ලෙසට ජනාධිපතිවරයා අදාල අංශ වෙත උපදෙස් ලබාදුන්නද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවයි.

ඇතැම් පාසැල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ හිමියන් මෙම මාසයට අදාළ සම්පූර්ණ ගාස්තුවම ඉල්ලා සිටින බවට මව්පියන් චෝදනා කරනවා. ඉකුත් මාසයේ මෙන්ම මෙම මාසයේ ද ළමුන් පාසැල් ගොස් ඇත්තේ සීමිත දින ගණනක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඉකුත් මාසයේ සම්පූර්ණ ගාස්තුව ලබාදුන්නද මෙම මාසයේ එලෙස මුදල් ලබාදීමට නොහැකි බවත්, පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙම මාසයට අදාළ ගාස්තුව අය නොකරන ලෙසටත් ඉල්ලීමක්ද කළා. මේ, ඊට ප්‍රතිචාර දැක්වූ පාසැල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල් මල්ශ්‍රී ද සිල්වා.

ඉන්ධන මිල වැඩිවීම හමුවේ පාසැල් බස් සහ වෑන් රථ ගාස්තු ද ඉහළ දැමුවා. එහෙත් එලෙස වැඩිකරන මුදල සම්බන්ධයෙන් තීරණය කිරීමට වගකිව යුතු බලධාරීන් කිසිවෙකු මැදිහත්වන්නේ නැහැ. ඉන් තමන්ට මහත් අසාධාරණයක් වන බවයි මව්පියන් පවසන්නේ. ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ ගාස්තු වැඩිකිරීමට මෙන්ම පාසැල් බස් රථ හා වෑන් රථ නියාමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කඩිනම් අවධානය යොමු කළ යුතු බවද මව්පියන් වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර හෙට සිට යළි පාසැල් ආරම්භ වනවා. එහෙත් නැවත දැනුම්දෙනතුරු පාසැල් පැවැත්වෙන්නේ සදුදා, අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණයි. බදාදා සහ සිකුරාදා දිනවලදී සිසුන්ට නිවසේ සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබා දීමට හෝ මාර්ගගතව ඉගැන්වීම් කටයුතු කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

Neth