දින 08කට පසුව මියගිය තරුණයා
පසුගිය 09 වැනිදා කොළඹ පැවැති අරගලයට සහාය පළ කිරීම සඳහා බැනරයක් ගසක එල්ලීමට ගිය අවස්ථාවේ ගසෙන් ඇද වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත
කළ තරුණයෙකු දින 08කට පසුව මියයාමේ පුවතක් පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ පෙරේදා(16)පැවැති මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
මෙසේ මියගොස් ඇත්තේ දිඹුලාගල,මඟුල්දමන,පැලෑටියාව අංක 75 ලිපිනයේ පදිංචිව සිටි මල්දෙනියේ ගෙදර නිශාන් කණිෂ්ක සඳරුවන් මල්දෙණිය(25) යන අයයි.
මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් පොළොන්නරුව නාගරික හදිසි මරණ පරීක්ෂක,සාම විනිසුරුඑල්.එම්.චමින්ද ලක්මාල් ඉදිරියේ පැවැති මරණ පරීක්ෂණයේදී සාක්කි දුන් සිද්ධිය ඇසින් දුටු අයෙකු වන එදිරිසිංහ ආරච්චිලාගේ රුචිර ප්‍රභාත් එදිරිසිංහ (21)යන අය මෙසේ කියා සිටියේය.
“මේ මියගොස් සිටින්නේ මාගේ ඥාති අයියා කෙනෙක්.2022.07.09 වැනිදින කොළඹදී පැවැත්වුනු අරගලයට සහයෝගයක් ලෙස මඟුල්දමන නගරයේ පාර දෙපැත්තේ කළු කොඩි සහ බැනර් දාන්න ගමේ තරුණ පිරිසක් කථා වුණා. 2022.07.08 දින රාත්‍රී මේ මියගොස් සිටින නිශාන් අයියාත් මමත් චාමර සහ මල්ෂාන් ඇතුළු අපි හය දෙනෙක් මඟුල්දමන හන්දියට පැමිණ බැනර්වල විරෝධතා වැකි ලියමින් සිටියා.මේ කොඩි සහ බැනර් ගස්වල ගැඩ ගසන්න නිශාන් අයියා සහ චාමික මල්ලී බාර ගත්තා. 2022.07.09වෙනිදින පාන්දර 1.00ට පමණ නිශාන් අයියා මඟුල්දමන හන්දියේ තිබෙන මාරගසේ බැනර් එකක් ගැටගහන්න ඒ ගහට නැග්ගා.ඒ ගහ අඩි 20 පමණ උසයි.නිශාන් අයියා ටික දුරක් උඩට නැඟලා බැනර් එක ගැට ගහන්න ගෙනිච්ච ලණුව දිග මදි නිසා තව ලණු කෑල්ලක් ගන්න පහලට ආවා.මේ අවස්ථාවේ උමේෂ් මල්ලීත් මමත් චාමර අයියාත් ගහ මුල හිටියේ.නිශාන් අයියා ලණුවත් අරගෙන නැවත ගහ උඩඩ යද්දී එකපාරටම බිම ඇද වැටුණා. ඒ වෙලාවේ ඔහුගේ නාහෙන් කටින් ලේ ගලමින් තිබණා.අපි අයියාව වෑන් රියකින් මනම්පිටිය රෝහලට රැගෙන ආවා.එහිදී මූලික ප්‍රතිකාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයෙකින් පොළොන්නරුව මහ රෝහලට මාරුකර එව්වා.එහිදි සී.ටී ස්කෑන් පරීක්ෂණ ආදිය සිදුකළා.වෛද්‍යවරුන් කිව්වා අයියාගේ මොළයට ලේ බැහැලා කියලා.එයට සැත්කමක් කිරීමට අනුරාධපුර මහ රෝහලට මාරුකර යවා නැවත සැත්කමින් පසුව පොලොන්නරුව රෝහලට එව්වා.එතැන් සිට අයියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවේ.
මියගිය අයගේ පියාවන මල්දෙණියේ ගෙදර ලයනල්(49)යන අයද මෙහිදී සාක්කි දුන්නේය.
පොළොන්නරුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.එල්.එම්.සුරේෂ් පෙරේරාෙ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර හිසට සහ මොළයට සිදුවූ තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බවට නිගමනය කළේය.
Aruna