Sunday, December 28, 2025
Follow Us
ඉන්ධන නැත්නම් උදේ 10 සිට ලංගම බස් ධාවනයෙන් ඉවතට

සිය සේවකයන්ට සේවයට වාර්තා කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීම සඳහා බලධාරීන් කටයුතු නොකරන්නේ නම් අද පෙරවරු 10 යේ සිට සියලු සේවකයින් සේවයෙන් ඉවත් වන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ වෘත්තිය සමිති පවසනවා. ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතියේ සභාපති නුරාජිත් සිං පැවසුවේ ලංගම ඩිපෝවලින් ඉන්ධන ලබාදීම ද අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සිදුකරන බවයි.

සිය සේවකයින්ට රාජකාරී සඳහා වාර්තා කිරීමට ඉන්ධන ලබාදෙන බවට බලධාරීන් ලිඛිතව දැනුම්දෙන්නේ නම් ඒ මොහොතේ සිට සේවා කටයුතුවල නිරත වන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

කෙසේවෙතත් සිය සේවකයින්ට ඉන්ධන ලබාදීම සඳහා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ පැමිණෙන සේවක සංඛ්‍යාව මත බස් ධාවනය සිදුකරන බවයි.

මේ අතර සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා තෝරාගත් පිරවුම්හල්වලදී ඉන්ධන ලබාදීමට ගෙන තිබූ තීරණය සෞඛ්‍ය ලේකම්වරයා විසින් ඊයේ සිට තාවකාලිකව අත්හිටවනු ලැබුවා. එහෙත් මෙම සතිය තුළදී සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා ඉන්ධන ලබාදීමට කටයුතු නොකරන්නේ නම් රෝහල් පද්ධතියට සහ ඊට අදාල අනෙකුත් සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ.

මේ අතර ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලරවලින් ගෙවීම් සිදුකර ඉන්ධන අත්‍යවශ්‍ය ආයතන හා පිරිස් වෙත ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවියට පිවිස ඊට අදාළ ලියාපදිංචිය ලබාගත හැකියි.

Neth