Friday, April 19, 2024
Follow Us
මහ බැංකු බැඳුම්කර නඩුව යළි කැදවීමට දින නියම වෙයි

මහබැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ නඩුව යළි කැදවීමට අද දින නියම කෙරුණා. බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා. ඒ අනුව නඩුව ජුලි මස 21 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා.

මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් විත්තිකරුවන් විසින් මීට පෙර මූලික විරෝධතා ගොනු කර තිබුණා.

අද නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ උදාර කරුණාතිලක විසින් එම මූලික විරෝධතාවලට අදාල ලිබිත දේශන ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් විත්තිකරුවන්ගේ පැහැදිලි කිරීම් තිබේ නම් ඒවා මීළඟ දින ඉදිරිපත් කරන ලෙස නියම කළ විනිසුරු මඩුල්ල නඩුව නැවත ජුලි මස 21 දා කැඳවන ලෙස නියම කළා.

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 688 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෂෙරිස් ආයතනය, එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස් කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණා.

Neth