Monday, April 29, 2024
Follow Us
ඇවන්ට්ගාඩ් නඩුව ඔක්තෝබර් 22 ට කල් යයි

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුව ඔක්තෝබර් 22 වැනිදා දක්වා කල් තැබීමට අද (17) කොළඹ මහාධිකරණය නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍ර මහතා ඉදිරියේ අද මෙම නඩුව කැඳවා තිබූ අතර නඩුවේ පළමුවැනි විත්තිකරු වන පාලිත ප්‍රනාන්දු මහතා බන්ධනාගාර නිළධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. ඔහු මේ වනවිට වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී. දෙවැනි විත්තිකරු වන නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය වෙත දන්වා සිටියේ ඔහු මේ වනවිට විදේශගතව ප්‍රතිකාර ලබන බැවින් අද අධිකරණය ඉදිරියේ පෙනී නොසිටින බවයි.

රාජපක්ෂ පාලන සමයේදී ගාලු වරාය ආසන්නයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලස් ලෙස ලබා දීම හා අල්ලස් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.

අල්ලස් කොමිසම මේ නිළධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශ කළේ දෙවැනි විත්තිකාර නිශ්ශංක සේනාධිපති නොමැතිව නඩුව පවත්වාගෙන යාම සඳහා මීළඟ නඩු දිනයේදී සාක්ෂි මෙහෙයවීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් 22 වැනිදා දක්වා කල් තැබීය.

(LNW)