Monday, April 29, 2024
Follow Us
අයහපත් කාලගුණයෙන් පවුල් 1629කට පීඩා

පසුගිය දින දෙක තුළ දිස්ත්‍රික්ක 8කට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ගංවතු නායයෑම් සහ අධික සුළං හේතුවෙන් පවුල් 1629කට අයත් සාමාජිකයින් 6731ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නුවර, ගම්පහ, කොළඹ, රත්නපුර, නුවරඑළිය, හම්බන්තොට, බදුල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වල ජනතාව මෙලෙස පීඩාවට පත්ව ඇත.

එම මධ්‍යස්ථානය සදහන් කළේ ආරක්ෂිත ස්ථාන 3ක පවුල් සංඛ්‍යාව 107කට අයත් සාමාජිකයින් 595දෙනෙක් රදවා ඇති බවයි.

පසුගිය දින දෙක තුළ ඇදහැළුනු අධික වර්ෂාවත් සමග වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

අධික වර්ෂාවත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 1315කට අයත් සාමාජිකයින් 5309දෙනෙක් පීඩාවට පත්ව තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ කෝට්ටේ සහ තිඹිරිගස්යාය ප්‍රදේශ වලට බලපෑ කෂ්ණික ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පවුල් 107කට අයත් සාමාජිකයින් 595දෙනෙක් පීඩාවට පත්ව තිබේ.

අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 3කට අයත් සාමාජිකයින් 13ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති වූ කෂ්ණික ගංවතුර හේතුවෙන් පවුල් 123කට අයත් 509දෙනෙක් පීඩාවට පත්ව තිබේ.

ගල් පෙරළීමේ අවධානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණතොට ප්‍රදේශයේ පවුල් 23කට අයත් සාමාජිකයින් 88දෙනෙකු එම ප්‍රදේශවලින් ඉවත් කර තිබේ.

කරුණෑගල මාකදුර හරහා හමාගිය සුළි කුණාටුවෙන් පවුල් 50කට අයත් සාමාජිකයින් 173ක් පීඩාවට පත්ව තිබේ.

මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය වතු නිවාස පේළියකට පස් කන්දක් කඩාවැටීමෙන් පවුල් 6කට අයත් සාමාජිකයින් 36දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේය.

(Aruna)