Sunday, December 28, 2025
Follow Us
කාදිනල් හිමියන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් පෙත්සමක්

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු කොමිසම විසින් සිදු කර ඇති නිර්දේශවලට අනුව ඊට වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස රිට් ආඥා නිකුත් කරන්නැයි ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එලෙස රිට් ආඥා නිකුත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටයි. එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් මුලස්ථානයේ සහකාර පොලිස් අධිකාරී සිසිල කුමාර, ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද නවරත්න යන අය නම් කර තිබෙනවා.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 271 දෙනෙකු මියගොස් 500 කට අධික පිරිසක් තුවාල ලැබුවා. එම සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ නායකත්වයෙන් පරීක්ෂණ කොමිසමක් පත් කළ බවයි කාදිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ. එම කොමිසම විසින් සිය අවසන් වාර්තාව 2021 වසරේ ජනවාරි මස 31 වන දා වත්මන් ජනාධිපතිවරයා වෙත භාර දුන් බවත් උන්වහන්සේ සිය පෙත්සම මඟින් පෙන්වා දෙනවා.

එම අවසන් වාර්තාවේ නිර්දේශවලට අනුව බුද්ධි අංශය, පොලිසිය ඇතුළු ඉහළ බලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් පාස්කු ප්‍රහාරය සිදුවූ බවත්, ඊට වගකිව යුතු උසස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස නියම කර ඇති බව ද පෙත්සමේ සඳහන්.

එහෙත් මෙම ප්‍රහාරය වලක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව චෝදනා එල්ල කර තිබුනත් ඔවුන්ට එරෙහිව මේ දක්වා වගඋත්තරකරුවන් විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් කාදිනල් හිමිපාණන් සිය පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

මේ හේතුවෙන් අදාල ප්‍රහාරයෙන් අගතියට පත් ජනතාවට මෙතෙක් යුක්තිය ඉටු වී නොමැති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ අනුව ජනාධිපති කොමිසම විසින් සිදු කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට සහ මහජන සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

Neth