Monday, April 29, 2024
Follow Us
රණවිරු ඉල්ලීම්වලට අද විසඳුම් නැතොත් හෙට ගෝල්ෆේස් පිටියේ සටනක්

රණවිරුවන්ගේ ඉල්ලීම්වලට පැහැදිලි විසඳුම් ලබා දීමට අද (17වැනිදා) දිනයේදී ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් හෙට (18වැනිදා) ගෝල්ෆේස් පිටියට සියලු ආබාධිත රණවිරුවන්ද, රණවිරු පවුල්වල අයද මහජනතාවද එකතු විය යුතුබව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ කොටුව දුම්රියපොළ අබියස ඊයේ (16වැනිදා) හයවැනි දිනයටත් පවත්වනු ලැබූ ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රතන හිමි,

ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් වෙනුවෙන්ද මියගිය රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන්ද සාධාරණයක් ඉටුවන තුරු සංඝ සමාජය ඔවුන් සමග සිටිනවා. එම නිසා නිදහස භුක්ති විඳින සියලු ජන කොටස්වලට ආරාධනා කරනවා ආබාධිත රණවිරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න පැමිණෙන්න කියලා. ඒ මගින් දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ඔස්සේ ආණ්ඩුවට බලපෑම් කිරීමට සංඝ රත්නයත් සූදානම්. කළගුණ සලකන ජාතියක් ලෙස ප්‍රසිද්ධ වූ රටක ජාතියකට නිග්‍රහ කරමින් ආණ්ඩුව රණවිරුවන් පාරට ඇද දමා තිබීම බලවත් අසාධාරණයක් යැයි පැවසීය. සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් බැලීමට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වයිස් අද්මිරාල් සරත් වීරසේකර, මැති ඇමැතිවරුන්ට වසර 5ක් පාර්ලිමේන්තුවේ සිටින විට විශ්‍රාම වැටුප් ද තීරු බදු රහිත වාහනද, වෙනත් වරප්‍රසාද ලැබෙනවා. නමුත් අත් පා අහිමි කරගත් දිවි පූජා කළ රණවිරුවන්ට ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා දීමට ආණ්ඩුවට නොහැකි වෙලා.

මෙය මාරාන්තික උපවාසයක් දක්වා නොගොස් පැහැදිලි විසඳුම් ලබාදීමට පාලකයන් වහාම ක්‍රියාකළ යුතුයි. රටේ නිදහස භුක්ති විඳින සමස්ත ජනතාවටම ආබාධිත රණවිරු සටනට සහායවන්න යැයි ඉල්ලා සිටිනවා. යැයි පැවසීය.

(Lanka Leads)