Monday, February 16, 2026
Follow Us
එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහළට

ඉන්ධන අර්බුදයෙන් වෙළෙඳුන් හිරවෙලා


ඉන්ධන අර්බුදය හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට පිට පළාත්වලින් වෙළෙඳුන් නොපැමිණීම නිසා එළවළු තොග මිල ගණන් අඩුවී ඇතැයි එම ආර්ථික මධ්‍යස්ථානවල නිලධාරීහු කියා සිටිති.

එමෙන්ම,ගොවීන්ට සිය එළවළු තොග ආර්ථික මධ්‍යස්ථානවලට රැගෙන ඒමට ක්‍රමවේදයක් නොමැති නිසා,ඇතැම් අවස්ථාවල අස්වනු තොග වගා බිම්වලම විනාශ වන බවද ගොවීහු පවසති.

බෝංචි තොග කිලෝවක් පසුගිය සතියේදී රුපියල් 500 ත් 600 ත් අතර මිලකට අලෙවි කෙරුණු අතර,ඊයේ (28 වැනිදා) දිනයේදී බෝංචි කිලෝවක තොග මිල රුපියල් 280 ත් 300 ත් අතර මිලක් දක්වා පහත වැටී තිබුණි.

එළවළු වර්ග කීපයක තොග කිලෝවක මිල ගණන් මෙලෙස අඩුවී තිබුණි.

කැරට් රු.130-150, බීට් රූට් රු.200, ගෝවා රු.150, ලීක්ස් රුපියල් 140-160, තක්කාලි රු.100-120,රාබු රු.70-90.

කෙසේ වෙතත්, එළවළු තොග මිල ගණන් අඩු වූවද, සිල්ලර මිලෙහි අඩුවීමක් සිදුවී නොතිබුණි.තක්කාලි කිලෝවක සිල්ලර මිල රුපියල් 500 ක් වූ අතර, බෝංචි කිලෝවකද සිල්ලර මිල රුපියල් 500 ක් විය. ඉන්ධන මිල වැඩිවීම නිසා වියදම් වැඩිවී ඇතැයි සිල්ලර එළවළු වෙළෙන්දෝ කියා සිටිති.

එමෙන්ම, ඉකුත් සෙනසුරාදා සහ ඉරිදා පොළවල් රැසක් පාළුවට ගොස් තිබූ අතර, වෙළෙඳුන්ගේ පැමිණීම සියයට පනහකටත් වඩා අඩුවී තිබුණි.

Aruna