Monday, February 16, 2026
Follow Us
බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පනින්න හැදූ 54ක් අත්අඩංගුවට

බහුදින ධීවර යාත්‍රාවක් යන්න හැදූ නීති විරෝධී ගමන


නීති විරෝධීව ඕස්ට්‍රේලියාව බලා යාමට සුදානමින් සිටි 54 දෙනෙකු කල්මුණේ හිදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ බහුදින ධීවර යාත්‍රාවක්ද අද අලුයම මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි.

මෙම පිරිස ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශවල පදිංචිකරුවන්ද සහ ඔවුන්ගේ අනන්‍යතාවය මේ දක්වා තහවුරු කරගෙන නොමැති බව නාවික හමුදාව පවසයි.

මෙරට සිට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 399 දෙනෙකු පසුගිය ජනවාරි මස පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ඊයේ නිවේදනය කළේය.

ඉන් 91 දෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති අතර ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේය.

නීති විරෝධී සංක්‍රමණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරුවෙකු වුවහොත් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න දඩ මුදලක් සහ වසර 05 කට ආසන්න සිරදඩුවමකට ලක්වීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Aruna