Sunday, December 28, 2025
Follow Us
වෛද්‍යවරුන්ගෙන් සහ දුම්රිය සේවකයින්ගෙන් ඉල්ලීමක්

සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා කොරෝනා වසංගතය පැවැති සමයේ ක්‍රියාත්මක කළ පොදු ප්‍රවාහන සේවාව යළි ආරම්භ කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. තම පෞද්ගලික රථවාහනවලින් සේවයට වාර්තා කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ.

කුමන බාධා පැමිණියද ගැටළුවකින් තොරව තම සේවාව ලබාදීමට සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සූදානම් බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළා. පවතින තත්ත්වය හමුවේ මේවනවිටත් ඇතැම් වෛද්‍යවරුන් පවා රෝහල් වෙත වාර්තා කරන්නේ පොදු ප්‍රවාහනය හෝ පාපැදියකින් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට සම්බන්ධ දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවා ස්ථාන වෙත පැමිණීමේදී ගැටලු පවතින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් ඉදිරියේ දුම්රිය ධාවනයටද බාධා එල්ල විය හැකි බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර පැවසුවේ. එම නිසා කොරෝනා වසංගතය පැවති සමයේ ක්‍රියාත්මක වූ සතියට වරක් සේවකයින් රාජකාරී සදහා කැදවීමේ ක්‍රමවේදය යළි ආරම්භ කරන ලෙසයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙහිදී ඉල්ලීමක් කළේ.

Neth