Monday, February 16, 2026
Follow Us
නොරොච්චෝලේ විදුලි බලාගාරය විදුලි ජනනයට එක් කරන්න මාස 05ක් ගතවන ලකුණු

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් යලි ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට මාස 05ක පමණ කාලයක් ගතවනු ඇතැයි වාර්තා වනවා. එම බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ඉකුත් සෙනසුරාදා සිට අක්‍රිය කෙරුණේ අනිවාර්ය නඩත්තු කටයුතු සඳහායි. එය අවසන් වීමට දින 75ක පමණ කාලයක් ගත වනවා.

සාමාන්‍යයෙන් මෙම බලාගාරයේ ජනන යන්ත්‍ර වසර 06කට වරක් අනිවාර්ය නඩත්තු කටයුතු සඳහා යොමු කළ යුතු වුවත් මෙම ජනන යන්ත්‍රය වසර 8ක් යනතුරු නඩත්තු කටයුතු සදහා යොමු කිරීමට හැකි වුණේ නැහැ. ඒල කොරෝනා වසංගත තත්වයක් සමඟ අදාල නඩත්තු කටයුතු භාර චීන ඉංජිනේරුවන්ට මෙරටට පැමිණීමට නොහැකි වීම හේතුවෙන්.

මේ වන විට අක්‍රීය කර ඇති යන්ත්‍රයේ නඩත්තු කටයුතු නිමාවූ පසු නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයද අනිවාර්ය නඩත්තු කටයුතු සදහා යොමු කිරීමට නියමිතයි. ඒ අනුව ජනන යන්ත්‍ර තුනකින් සමන්විත නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ සියලු ජනන යන්ත්‍ර එකවර ක්‍රියාත්මක කර උපරිම ධාරිතාවයකින් විදුලිය ජනනය කිරීම සඳහා මාස 05ක පමණ කාලයක් ගතවන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ.

ඒ අනුව නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීයව පවතින කාල සීමාව තුල මෙගාවෝට් 270ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වනවා. එලෙස අහිමි වන විදුලි ධාරිතාවට සමාන විදුලි ධාරිතාවක් ජනනය සඳහා අමතර ඉන්ධන අවශ්‍යවන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ.

මෙම ජනන යන්ත්‍රයක අනිවාර්ය නඩත්තු කටයුතු සඳහා සාමාන්‍යයෙන් දින 200ක් පමණ ගත වුවත් එය කඩිනම් කර දින 75කින් සැලසුම් කර ඇති බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සදහන් කළා.

Neth