Monday, February 16, 2026
Follow Us
ඉන්ධන අර්බුදයට පානදුරේ තරුණයෙකුගෙන් විසදුමක්

නව ඉන්ධන වර්ගය නිෂ්පාදනය කළ තරුණයාට අගමැතිගෙන් සුබපැතුම්


මෙරට තුළ මේ වන විට පවතින උග්‍ර ඉන්ධන ගැටළුවට විසදුමක් ලෙස නව ඉන්ධන වර්ගයක් නිෂ්පාදනය කිරීමට පානදුර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමත්ව තිබේ.

වයස අවුරුදු 23ක් වන දිළිණ දක්ශිල නමැති තරුණයා විසින් මෙම ඉන්ධන වර්ගය නිෂ්පාදනය කර ඇත.

එම තරුණයා විසින් පොල් තෙල් වලින් නිෂ්පාදනය කරන බයෝ ඩීසල් වල සාම්පල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යොමු කර විද්‍යාත්මක පරීක්ෂණයක් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙම බයෝ ඩීසල් වර්තමාන ඉන්ධන අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් ලෙස භාවිතා කළ හැකිදැයි තහවුරු කර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

දුරකතනයෙන් එම තරුණයා සමග සාකච්ඡා කළ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ද දැනුවත් කර අදාළ පරීක්ෂණ සඳහා සහය ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.

දිළිණ දක්ශිල පැවසුවේ තමන් සිදු කළ පෞද්ගලික මට්ටමේ පරීක්ෂණ අනුව සිය නිෂ්පාදනය ලෝක සම්මත වලට අනුකූල බවයි.

සාමාන්‍ය ඩීසල් ලීටරයකින් යා හැකි දුර මෙන් සියයට දහයක දුරක් මෙම බයෝ ඩීසල් වලින් යා හැකි බව එම තරුණයා තහවුරු කර තිබේ.

බයෝ ඩීසල් යොදා ගැනීමේදී වාහනයෙන් පිටවන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සාපේක්ෂව අඩු යැයි තමා සොයා ගත් බව දිළිණ දක්ශිල තරුණයා අගමැතිවරයාට දැනුම් දී තිබේ.

දිළිණගේ සොයා ගැනීම ගැන සුබ පැතුම් එක් කළ අගමැතිවරයා පරීක්ෂණාගාර වාර්තාව ලැබුණු පසු තමා අවශ්‍ය පියවර ගන්නා බව දැනුම් දී තිබේ.

Aruna