Saturday, December 27, 2025
Follow Us
නොරොච්චෝලේ කොටසක් අද වසා දමයි : විදුලි කප්පාදුව දීර්ඝ වෙයිද ? තීරණයත් ඉන්ධන මත

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ කොටසක් අද මධ්‍යම රාත්‍රී 12හේ සිට වසා දැමෙනවා. ඒ, දින 75 කාලයකටයි. මීට ඉහතදී සිදුකිරීමට නියමිතව තිබූ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස බලාගාරයේ කොටසක් වසා දැමෙන බවයි ලංකා විදුලි ඉංජිනේරු සංගමය පැවසුවේ.

නොරොච්චෝලේ බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට එක්කෙරෙන ප්‍රමාණය මෙගාවොට් 270 ක්. රට තුල පවතින ඩීසල් හිඟය සහ වැසි නොලැබීම හේතුවෙන් විදුලිය නිපදවීමටද මේ වන විටත් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. එවන් පසුබිමකයි අද සිට මෙලෙස නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ කොටසක් වසා තැබෙන්නේ.

පවතින තත්ත්වය හමුවේ දිවයින පුරා දැනට සිදු කෙරෙන විදුලිය කප්පාදු කෙරෙන කාල සීමාව දීර්ඝ කිරීමට සිදුවන්නේදැයි නෙත් නිවුස් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් විමසීමක් කළා. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ හෙට සහ අනිද්දා දෙදින විදුලි කප්පාදුවේ වෙනසක් සිදුනොවුණ ද ලබන සතියේ සිට විදුලිය කප්පාදු කරන සීමාව දීර්ඝ කිරීමට සිදුවිය හැකි බවයි.

ඊට අදාල තීරණය හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඉන්ධන ලැබෙන ප්‍රමාණය මත විදුලි කප්පාදුව දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය වනු ඇති බවයි සභාපති ජනක රත්නායක පැවසුවේ. විදුලි කප්පාදුව දීර්ඝ නොකර පවත්වාගෙන යාමට නම් අනිවාර්්‍යයෙන්ම ඉන්ධන අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේවෙතත් නොරොච්චෝලේ බලාගාරය වසා දැමීමෙන් පසු පද්ධතිය පවත්වාගෙන යාමට අමතර ඩීසල් තොග නොලැබෙන්නේ නම් විදුලි කප්පාදු කෙරෙන කාල සීමාව තවත් පැය දෙකකට ආසන්න කාලයක් සිදුකිරීමට සිදුවන බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සම ලේකම් එරංග කුඩාහේවා පැවසුවේ. ඒ අනුව විදුලි කප්පාදුව පැය 04 කට ආසන්න වනු ඇති.

කෙසේවෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ විදුලි කප්පාදුව දීරඝ කිරීම සිදුනොවනු ඇති බවයි.

මේ අතර අද දිනයේද පැය 2 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

Neth