Saturday, December 27, 2025
Follow Us
ලක්ෂ 3කට රැකියා අහිමි වෙයි

තවත් ලක්ෂ 2 ක රැකියා අවදානමේ


රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධව සිටින ලක්ෂ 3 කට වැඩි පිරිසකගේ රැකියා මේ වනවිටත් අහිමි වී ඇති බව ඉදිකිරීම් කර්මාන්ත වාණිජ මණ්ඩලයේ සභාපති රන්ජිත් ගුණතිලක පැවැසීය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට බලපා ඇති ගැටලු තවත් සති දෙක තුනක් ඇතුළත විසඳීමට පියවර නොගතහොත් තවත් ලක්ෂ 2 කට අධික පිරිසකට රැකියා අහිමි වනු ඇතැයි සභාපතිවරයා පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් පළකළ ඉදිකිරීම් කර්මාන්ත සභාපතිවරයා සඳහන් කරන ලද්දේ කඩා වැටෙමින් පවතින ඉදිකිරීම් ක්ෂේත්‍රය ආරක්ෂා කරගැනීමට නම් ඉන්දියාවෙන් හෝ චීනයෙන් ලබාගන්නා ණය පහසුකමක් (Credit Line) හරහා අමුද්‍රව්‍ය සැපයීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

‘‘මහා පරිමාණ කොන්ත්‍රාත් මත ක්‍රියාත්මක කර්මාන්තය සම්බන්ධ පිරිස පිළිබඳ තත්ත්වය පමණයි මේ. මීට අමතරව පෞද්ගලික මට්ටමින් නිවාස ආදී ඉදිකිරීම් සිදුකරන තවත් අතිවිශාල සංඛ්‍යාවකට මේ වනවිටත් රැකියා අහිමි වෙලා. ඔවුන් පිළිබඳ ගණනය කිරීමක් සිදුවෙලා නැහැ.

අපි රජයට කියන්නේ ක්‍රෙඩිට් ලයින් එකක් හරහා අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය රටට ගෙනවිත් දෙන්න කියලා. මේවා අපි නිකම් නෙමෙයිනේ ඉල්ලන්නේ. අපිට ඒවා මිලදී ගන්න ක්‍රමයක් සකස් කරලා දෙන්න කියලයි ඉල්ලන්නේ’’ යැයි සභාපතිවරයා පැවැසීය.

නව ණය පහසුකම් ලබාගැනීමේ අපහසුතාවක් පවතී නම් මේ වනවිට ඉන්දීය රජයෙන් ලබාදී ඇති ඩොලර් බිලියනයක ණය පහසුකමේ ඉතිරිව ඇති මුදල හෝ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට යොදවන ලෙසද සභාපතිවරයා රජයෙන් ඉල්ලා සිටී.

Aruna