Saturday, December 27, 2025
Follow Us
ඖෂධ නොමැතිවීම නිසා 16 හැවිරිදි පාසල් සිසුවකු මියයයි

පොළඟුන් දෂ්ටකර අනුරපුරේ ළමුන් 6ක් මරුට


පොළොඟුන් දෂ්ට කිරීම නිසා දැනට මාසයකටත් වඩා අඩු කාලයක් තුළදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ළමුන් හය දෙනකු මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර පවසයි.

මෙලෙස ළමුන් මිය යෑමට හේතුව පොළඟුන් දෂ්ට කිරීමෙන් පසු ඇතිවූ ආසාදිත තත්ත්වයක් නිසාදැයි සැකයක් පවතින බවද, ඒ පිළිබඳව සොයාබැලීමක් සිදු කෙරෙන බවද අධ්‍යක්ෂවරයා කියයි.

මේ අතර, සර්පයෙකු දෂ්ට කිරීමේදී රෝගියාට ලබාදිය යුතු ප්‍රති විෂ ඖෂධ නොමැතිවීම නිසා 16 හැවිරිදි පාසල් සිසුවකු මිය ගොස් ඇතැයි අනුරාධපුර, කලත්තෑව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් පෙනී සිටි එම්.වී.ජී විනුක් තෙවුනාත් නමැති පාසල් සිසුවෙකි. අනුරාධපුර, කලත්තෑව ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලක එකම පිරිමි දරුවාය.

මෙම සිසුවා ඉකුත් 07 වැනිදා පස්වරුවේ සිය නිවස ඉදිරිපිට තවත් ළමුන් පිරිසක් සමග ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව අසල වත්තකට වැටී ඇත. සිසුවා පන්දුව ගැනීමට එම වත්තට ගිය අවස්ථාවේදී පොළොඟෙකු දෂ්ට කර ඇත. අනතුරුව පිරිස කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට රැගෙන ගොස් තිබේ. සිසුවාගේ තත්ත්වය බරපතළ වූ හෙයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කරන ලදී.

රෝහල තුළ මූලික ප්‍රතිකාර කටයුතු සඳහා ඖෂධ පැවතියත්,පසු ප්‍රතිකාර සඳහා ඖෂධ නොමැති බවට රෝහලෙන් දැනුම් දුන් බවද ඔහුගේ පියා පවසයි.

“මට රෝහලෙන් බෙහෙත් වගයක් ලියලා දුන්නා පිටින් ගේන්න කියලා. මම අනුරාධපුර සියලු ෆාමසිවලට ගිහින් ඒ බෙහෙත් හෙව්වත් තිබුණේ නෑ. බෙහෙත් නැතිකම නිසා තමයි මගේ දරුවා බේරා ගන්න බැරිවුණේ.“යැයිද මියගිය සිසුවාගේ පියා සඳහන් කරයි.

මේ නිසා ඉකුත් 08 වැනිදා විනුක් සිසුවා සිය ජීවිතයෙන් සමුගැනීමට සිදුවිය.

“මමවත්, මගේ දරුවාවත් මේ රටේ එක ඩොලර් එකක්වත් හොරකම් කරලා නෑ. අපිට නිකම් බෙහෙත් නැති වුණාට කමක් නෑ. අඩු තරමේ සල්ලි දීලවත් බෙහෙත් ටිකක් ගන්න නැති රටක මගේ දරුවා ඉපදීම ගැන කනගාටු වෙනවා. සමාජයෙන් මම ඉල්ලා සිටින්නේ පුළුවන් තරම් පරිස්සම් වෙන්න කියලා. බල්ලෙක් හැපුවොත් රටේ බෙහෙත් නෑ. සර්පයෙක් දෂ්ට කළොත් බෙහෙත් නෑ. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්වත් පිළිවෙතක් අනුගමනය කරන ලෙස මම රටේම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.’’ යැයිද සිසුවාගේ පියා කියන්නේය.

මේ පිළිබඳව අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීරගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ සර්පයකු දෂ්ට කළ පසු ඊට අවශ්‍ය ප්‍රතිවිෂ ඖෂධ රෝහලේ තිබෙන බවය.


Aruna