Saturday, December 27, 2025
Follow Us
කොළඹට එන වාහන අඩුවෙයි

ලක්ෂ පහක පිරිසක් යන එන විදිය වෙනස් කරයි


ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළ යාම හා පවතින ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ නගරයට දෛනිකව එන කාර්, වෑන්, බස් රථ, යතුරුපැදි ආදී ලක්ෂ පහකට ආසන්න වාහන සියයට පනහකට වැඩි ප්‍රමාණයකින් අඩුව තිබේ.

තම පෞද්ගලික වාහනවලින් පැමිණි බොහෝ දෙනා දැන් පොදු වාහන සේවා භාවිත කිරීම මීට හේතුව වී තිබේ.

දෛනිකව ලක්ෂ පහකට වැඩි වාහන කොළඹට පැමිණීමෙන් කොළඹ නගරයේ දැඩි රථවාහන තදබදයක් පැවැතියත් මේ වන විට කොළඹ වාහන තදබදයද සැලකිය යුතු ලෙස අඩුවී තිබේ.

කෙසේ නමුත් ඩීසල් හිඟය හේතුවෙන් පොදු ප්‍රවාහන බස් රථ අඩුවීමෙන් කාර්යාල වේලාවන්හි සහ පාසල් වේලාවන්හි මගීන් දැඩි පීඩනයකට ලක්ව සිටිති.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ පෞද්ගලික බස් රථ දහ අට දහසින් දහතුන් දහසක පමණ ප්‍රමාණයක් කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ධාවනය වුවත් මේ වන විට ධාවනය වන්නේ බස් රථ පන්දහසකටත් අඩු ප්‍රමාණයක් බවය.

එමෙන්ම ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථද සියයට විසි පහකින් පමණ අඩු කර තිබෙන බව එම මණ්ඩලයේ ආරංචි මාඅර්ග සඳහන් කරයි. එම මණ්ඩලයේ බස් රථ 1400ක් පමණ ධාවනය වුවත් මේ වන විට බස් රථ 900ක් වැනි සංඛ්‍යාවක් පමණි.

වැඩි පිරිසක් දුම්රියට යොමුවීම නිසා සියලුම කාර්යාල දුම්රියවල මගී ධාරිතාව ඉක්මවා ගොස් තිබේ. නියාමකවරුන්ගේ හිඟය නිසා දුම්රිය 150කට වැඩි ගණනක් ධාවනාගාරවල ගාල් කර ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Aruna