මෝල්වලින් සහල් නිකුත් කිරීම නවතලා
සහල් මෝල්වලින් අවශ්‍ය පරිදි සහල් වෙෙළඳපොළට නිකුත් නොකිරීම හේතුවෙන් රට පුරා දේශීය සහල් හිඟයක් පවතින බවත් විදේශීය සහල්ද ඉතා සීමිත ප්‍රමාණයක් පවතින බව සහල් වෙළෙන්දෝ පවසති.
සහල් හිඟය පිළිබඳව දඹුල්ල තොග සහල් අලෙවි කරන ස්ථානවලින් විමසීමේදී කියා සිටියේ මහා පරිමාණ සහල් මෝල්වලින් මේ වන විට සහල් නිකුත් කිරීම අත්හිටුවා දින කිහිපයක් ගතවන බවය.
මෙම හේතුව නිසා තොග වශයෙන් සහල් අලෙවි කිරීම සම්පූර්ණයෙන් නවතා දමා වෙළෙඳසල්වල ඇති සීමිත සහල් තොග ජනතාවට සිල්ලරට විකුණන බවද ඔවුහු පවසති.
සහල් මෝල් හිමියන් වී හිඟයක් ඇති බව පවසා සහල් ලබා නොදෙන බවද, සහල් කිලෝවක් රුපියල් දෙසිය හතළිහකට පමණ ඉහළ දැමීමේ සූදානමක් පවතින බවද සහල් අලෙවිකරුවෝ පවසති.
කෙසේ වෙතත් දේශීය සම්බා, කැකුළු, නාඩු සහල් කිලෝ එකක මිල රුපියල් 210 සිට 240 දක්වා විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බව පාරිභෝගික ජනතාව පවසති.
සහල් මිලදී ගැනීම සඳහා පැමිණි සිල්ලර වෙළෙඳසල්වල හිමිකරුවන් කියා සිටියේ සහල් වෙළෙඳසල්වලින් නිකුත් නොකිරීම නිසා ග්‍රාමීය ප්‍රදේශවලට සහල් රැගෙන යෑමට නොහැකි වී ඇති බවය.
මේ අතර සහල් උපරිම සිල්ලර මිල රුපියල් තුන්සීයය දක්වා වැඩි කරන බව ප්‍රකාශ කරමින් පවතින සහල් මිල වැඩි කිරීමට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් දෙදෙනකු කළ උත්සාහයක තොරතුරු වෙළෙඳ අමාත්‍යාංශයට ලැබී ඇත.
එහෙත් උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් පත්‍රය කිසිදු සංශෝධනයකට ලක් කිරීමට හෝ අවලංගු කිරීමට හෝ පවතින සහල් මිල වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබා නොදෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. උපරිම සිල්ලර මිල රුපියල් තුන්සීයය දක්වා වැඩි කරන බවට පැතිර යන කතා අසත්‍ය බවද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක කියා සිටියේය.
නාඩු සහල් කිලෝවක් රුපියල් 220ක්ද සම්බා සහල් කිලෝවක් 230ක්ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 260ක්ද ලෙස සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මැයි මස දෙවැනි දින ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
Aruna