Saturday, December 27, 2025
Follow Us
බනිස් 100ට නගී

වැට් බදු නිසා බනිස් ගණන් උස්සයි


පාන් හැර අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදන සඳහා සියයට 12ක වැට් බදු ගෙවීමට බේකරි හිමියන්ට සිදුවීම නිසා බනිස්, ෂෝටීස් ආදී ආහාරවල මිල රුපියල් 10කින් ඉදිරියේදී ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පැවසීය.

අදාළ වැට් බද්ද ඉවත් කිරීමට රජය කටයුතු නොකළහොත් බනිස් ගෙඩියක මිල රුපියල් 100ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇති බවද ඔහු පවසයි.

කුඩා ප්‍රමාණයේ බේකරි හිමියන් මෙම බදු මුදලින් නිදහස් වූවද, සමස්ත බේකරි හිමියන්ගෙන් සියයට 60 කට පමණ අදාළ බදු මුදල ගෙවීමට සිදුවී ඇතැයිද ඔහු කීවේය.

පනවා තිබෙන වැට් බද්දෙන් බේකරි හිමියන් නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා සඳහන් කරයි. මේ සම්බන්ධව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිඛිතව දැනුම් දීමට කටයුතු කරන බවද ඔහු කීවේය.

එමෙන්ම බේකරි නිෂ්පාදනවලට අමතරව ඒවා නිෂ්පාදනය කිරීමට ගන්නා මාගරින්, කිරිපිටි ආදී අමුද්‍රව්‍යවලටද සියයට 12ක වැට් බදු මුදල බේකරි හිමියන් ගෙවන බව සභාපතිවරයා කියයි. මේ නිසා බේකරි නිෂ්පාදනවලින් වැට් බද්ද ඉවත් කර සහනයක් ලබා දෙන ලෙස බේකරි හිමියන් රජයෙන් ඉල්ලා සිටී. බඩු මිල ඉහළ යාමත් සමග මේ වන විට කුඩා පරිමාණයේ බේකරි 2000 ක් පමණ වැසී ගොස් ඇතැයිද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

Aruna