අඩු මිල ගණන් යටතේ බොරතෙල් සහ ඉන්ධන ලබාදීමට රුසියාව එකඟවී ඇති පසුබිමක් රජය ඒ සදහා අවධානය යොමු නොකරන බවට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජතෙල් ශාඛාව චෝදනා කරනවා. එම ශාඛාවේ සම සභාපති ජගත් විජයගුණරත්න නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ දේශපාලන හිතවත්කම් මත ඉකුත්දා මෙරටට පැමිණි බොරතෙල් නෞකාවද ලබාගෙන ඇති බවයි.
අඩු මිල ගණන් යටතේ රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමට රජය කටයුතු නොකළහොත් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජතෙල් ශාඛාවේ සම සභාපති ජගත් විජයගුණරත්න වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුව බලගැන්වීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. බොරතෙල් නොමැතිවීම හේතුවෙන් ඉකුත් මාර්තු 21 වනදා සිට සම්පූර්ණයෙන් නතර කෙරුණු පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගැණුනේ ඉකුත් සදුදා දිනයේයි. එහෙත් පිරිපහදුවේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එදිනම එම කටයුතු යළි නතර කෙරුණා.
යළිත් සපුගස්කන්ද පිරිපහදුව පණ ගැන්වීම ආරම්භ කළේ ඊයේ දිනයේයි. තවත් දින දෙකකින් පමණ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමටයි මේ වනවිට සැලසුම් කර ඇත්තේ.
මේ අතර රට තුළ යළි ඩීසල් හිඟයක් මතුව තිබෙනවා. බොහෝ පිරවුම්හල් අසල දැන් පෝළිම් ඇත්තේ ඩීසල් ලබා ගැනීමේ අරමුණින්. පවතින ඩීසල් අර්බුදය පොදු ප්‍රවාහන සේවයට ද බලපෑම් එල්ල කර තිබෙනවා.
මේ අතරතුර භූමිතෙල් ලබා ගැනීමේ අරමුණින් ජනතාව අද අලුයම ද පෝලිම්වල රැඳී සිටින ආකාරය කොළඹ නගරයේ නිරීක්ෂණය කළ නෙත් නිවුස් කණ්ඩායමට දැකගත හැකි වුණා.
Neth