Saturday, December 27, 2025
Follow Us
වකුගඩු ජාවාරමක් ගැන හෙළිදරව්වක්

වෛද්‍යවරුන් දෙදෙනෙකුට චෝදනා


වෛද්‍යවරුන් දෙදෙනකු කරන වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විනය රෙගුලාසිවලට අනුකූලව වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට කමිටුව වෙත මූලික ක්‍රියාමාර්ග යොමු කර ඇති බවයි.

කොළඹ හැව්ලොක් පාර පදිංචි වෛද්‍ය රුවන් එම්. ජයතුංග මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් දෙදෙනකු වකුගඩු ජාවාරමක් සිදු කරන බවයි.

මෙම වෛද්‍යවරුන් කොළඹ ජාතික රෝහලේ සහ අක්ෂි රෝහලේ සේවය කරන බවද අනාවරණය වෙයි. වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙතද ලිපියක් යොමු කර තිබේ. ඒ විමර්ශන සිදු කරන ලෙස ඉල්ලමිනි.

2013 වර්ෂයේද මෙකී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කර ඇත. එම සැකකරුද මෙම වෛද්‍යවරුන් දෙදෙනා පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

Aruna